මහේල සමුගැනීමේ ලිපිය බාරදෙයි

මහේල සමුගැනීමේ ලිපිය බාරදෙයි

April 10, 2014   10:02 am

පන්දුවාර 20-20 තරඟවලින් සමුගැනීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඈස්ලි ද සිල්වා මහතාට හෙතෙම ඉල්ලා අස්වීමේ ලිපිය එසේ බාරදී ඇත.

ඉකුත් පන්දුවාර 20-20 තරඟාවලියේදී බංග්ලාදේශ මාධ්‍යයකින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මහේල ජයවර්ධන මෙය තමාගේ අවසන් පන්දුවාර 20-20 තරඟාවලිය විය හැකි බව පවසා තිබුණි.

එම ප්‍රකාශය මෙරට පුවත්පතක පළවීමත් සමග ක්‍රිකට් ආයතනයේ බලධාරීන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මහේල ජයවර්ධන මෙන්ම කුමාර් සංගක්කාර අතර මත ගැටුමක් නිර්මාණය වී තිබුණි.

කෙසේ වුවද කණ්ඩායම් කළමනාකරු මාධ්‍යයට කිසිවක් නොපවසා තරඟාවලිය ගැන අවධානය යොමුකරන ලෙස දැනුම්දීමක් කළ බව මහේල ජයවර්ධන පෙරේදා කටුනායක ගුවන් තොටුපළින දිවයිනට පැමිණ එම ස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

කෙසේ වුවද මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර 20-20 තරඟවලින් සමුගන්නා බවට මෙරට කිසිදු පුවත්පතකට ප්‍රකාශයක් නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් මහේලගේ චෝදනාවලට පිළිතුරු ලෙස ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.