ඩිල්ෂාන්ට දඩයක් වදී

ඩිල්ෂාන්ට දඩයක් වදී

April 1, 2014   04:48 pm

දැවීයාම සම්බන්ධයෙන් විනිසුරුවරයා ලබාදුන් තීරණයට විරුද්ධත්වය පළ කළැයි කියමින් තිලකරත්න ඩිල්ෂාන්ට තරඟ ආදායමෙන් සියයට 20ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ නවසීලන්තය සමග පැවති තරඟයේදී පන්දුවට පහරදෙමින් සිටි ඩිල්ෂාන් තරඟයේ 4 වන පන්දුවාරයේදී පහරක් එල්ල කිරීමට ගොස් එම පන්දුව කඩුලු රකින්නා විසින් රැක ගන්නා ලදී.

එහිදී උඩ පන්දුවක් රැකගත් බවට කඩුලු රකින්නා ඇතුළු සෙසු ක්‍රීඩකයින් ඉල්ලා සිටීමත් සමග ඩිල්ෂාන් දැවී ගිය පිතිකරුවෙකු ලෙස විනිසුරුවරයා තීරණය ලබාදුන්නේය.

එකී පන්දුව තම‍ාගේ අත්ආවරණවල නොවැදුණු බව පෙන්වීම සඳහා වැලමිට කොටස ඩිල්ෂාන් විසින් පෙන්වූයේ යැයි කියමින් ඔහුට දඩයක් ගැසීමට මේ අනූව තීරණය කර තිබේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී විනිසුරු තීරණයට විරෝධය පළ කර ICC රෙගුලාසි මාලාවට අනුව 2.1.3 දරණ වගන්තිය ඩිල්ෂාන් විසින් කඩ කළ බවට විනිසුරුවන් තීරණය කරමිනි.