ප්‍රගීත් ගැන දන්නවානම් අරුන්දිකගෙන් ප්‍රශ්න කළ යුතුයි

ප්‍රගීත් ගැන දන්නවානම් අරුන්දිකගෙන් ප්‍රශ්න කළ යුතුයි

June 6, 2013   12:27 pm

ආණ්ඩු පක්ෂයේ පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කළ යුතුව ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ප්‍රංශයේ ජීවත්වන බවත්, තමාට ද වරෙක මුණගැසුණු බවත් ඊයේ අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් කරනු ලැබූ මෙම ප්‍රකාශය ඉතාම බරපතළ බැවින් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කළ යුතු බවත්, ඒ පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවර පැහැදිලි කළ යුතුව ඇති බවත් හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ජීවතුන් අතර සිටීනම් අවම වශයෙන් ඔහුගේ බිරිඳටවත් ඔහුව මුණගැස්විය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මීට පෙරාතුව හිටපු අගවිනිසුරුවරිය ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව කටයුතු නොකරන්නේ නම් ධූරයෙන් ඉවත් කළ යුතු බවටද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ බවද හරීන් ප්‍රනාන්දු මහතා සිහිපත් කළේය.

‍ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් මොහු විසින් කරනු ලබන බරපතළ ප්‍රකාශයන් පිළිබඳ ආණ්ඩුව කුමන පියවරක් අනුගමනය කරන්නේද යන්න අවධානයෙන් යුතුව බලා සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම කලකට ඉහතදී වරායේ සභාපතිවරයා තමන් ලෝකයේ හොඳම සභාපතිවරයාලෙස සම්මාන දිනාගත් බවට ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කළ බවත්, වරාය භූමියේ කටවුට් ප්‍රදර්ශනය කළ බවක්, බැනර් එල්ලා තිබුණු බවත් සිහිපත් කළේය.

එහෙත් ඔහු තමන්ගේ කකුල් දෙක ළඟ ගින් ගන්නා තෙක් කිසිත් නොදන්නා බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

වරායේ ගින්න, නොරොච්චෝලේ අක්‍රීයවීම, කෞතුකාගාරයේ තරප්පු පෙළ කඩාවැටීම, සපුගස්කන්ද තෙල් පිරිපහදුව අත්හිටුවීම වැනි බොහෝ කාරණාවන්ට අදාළව ආණ්ඩුව විසින් පරීක්ෂණ සිදුකරන නමුත් මේවන තෙක් කිසිදු විසඳුමක් නොමැති බව හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.