ඒක මුළුමනින්ම අසත්‍ය කතාවක්

ඒක මුළුමනින්ම අසත්‍ය කතාවක්

May 25, 2013   09:04 pm

වැඩවර්ජනය මුල්කර ගනිමින් ආණ්ඩුව තම පක්ෂයට එරෙහිව තවදුරටත් මඩ ව්‍යාපාරයක් ගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කරයි.

සති අන්ත පුවත්පතක පළවී ඇතැයි කියන අසත්‍ය පුවත්පතකට ප්‍රතිචාර වශයෙන් මන්ත්‍රීවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්ය.

එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයෙක් ඉවත් කිරීමට යන බවට වන පුවතක් මැයි 26 සතිඅන්ත පුවත්පතක පළවී තිබේ. එහි සඳහන් වන්නේ, ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේ අනුමැතියකින් තොරව විදුලි බිලට එරෙහි වැඩවර්ජනයක් සංවිධානය කිරීමට එරෙහිව මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බවය.

මුළුමනින්ම අසත්‍යයක් වන මෙම ප‍්‍රවෘත්තිය, විදුලිය බිල නැංවීම ඉවත් කරන ලෙසට බලකරමින් වෘත්තීය සමිති විසින් දියත් කළ වැඩවර්ජනයට එරෙහිව ආණ්ඩුව විසින් ගෙන ගිය හා තවමත් ගෙනයමින් සිටින මඩ ව්‍යාපාරයේම කොටසකි.

මෙබඳු විසුළුකාරී පුවත් තුළින් ප‍්‍රකට වන්නේ, සංකේත එක්දින වැඩවර්ජනයේ බලපෑම ආණ්ඩුවට කෙතරම් ප‍්‍රබල ලෙස දැනී තිබුණේද යන්නත් ආණ්ඩුව ඉදිරියේ ඇතිවනු ඇති එබඳු මහජන විරෝධයකට කෙතරම් බියෙන් සිටින්නේද යන්නත්ය.

වෘත්තීය සමිති ක‍්‍රියාකාරීහු සහ ඒ පිළිබඳව උනන්දුවෙන් සිටින ජනතාව මෙම වැඩවර්ජනය හදිසියේ පැන නැගුණු එකක් නොවන බවත් එය මාසයකට වැඩි කාලයක් වෘත්තීය සමිතිවල එකාබද්ධ ක‍්‍රියාමාර්ගයක් පිළිබඳව කෙරුණු සාකච්ඡාවලදී තීරණය කරනු ලදුව තවත් මාසයක කාලයක් ආණ්ඩුවට කල් ලබාදීමකින් අනතුරුව කැඳවන ලද්දක් බව හොඳින්ම දනිති.

ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිද ඇතුළත් මෙම එකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ කමිටුව වැඩවර්ජන තීරණයට ජනතා විමුක්ති පෙරමුණද සෙසු දේශපාලන පක්ෂද හමුවී සහයෝගය සහය ඉල්ලා තිබුණේ මැයි මාසයේ මුලදීය.

ඒ බවද මෙම පුවත් “පැළ කරන්නන්” නොදැන සිටියාට රටේ ජනතාවට රහසක් වන්නට ඉඩක් නැත. ඒ අර්ථයෙන්ද ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයට හොර රහසේ වැඩවර්ජනයක් දියත් කළ බවට වෘත්තීය සමිති නායකයෙකුට චෝදනා එල්ලවී ඇතැයි කීම හාස්‍යජනකය.

අනෙක් අතට වැඩවර්ජනය අසාර්ථක බව ජ.වි.පෙ. අභ්‍යන්තර මතය වී ඇත්තේ යැයි සඳහනක්ද මෙම පුවතේ වෙයි. වැඩවර්ජනය කැඳවන ලද පසුගිය 21වැනිදාට ප‍්‍රථමයෙන්ද එදිනද ඉන් පසුවද මෙම මතය තහවුරු කිරීමේ දැඩි වෑයමක සිටින්නේ ආණ්ඩුවය.

තම මාධ්‍ය හොරණෑවන් මගින්ද වෙනත් මාධ්‍ය අයතනවල කුලී ලියනඅප්පුලා මගින්ද සමාජගත කිරීමට ආණ්ඩුව උත්සුක වන්නේ මෙම අදහසය.

දහස් සංඛ්‍යාත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සේවක සේවිකාවන්, සරසවි ඇදුරන් වැඩවර්ජනය කර, තම සේවා ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වා තම හුදු වෘත්තීය සමිති ඉල්ලීමකින් ඔබ්බෙහි වූ පොදුජන ඉල්ලීමක් වෙනුවෙන් හඬ නඟා තිබියෙදී එම මතයම නැවත නැවත ලියමින් මිථ්‍යාව, සත්‍යය යැයි තහවුරු කරන්නට තැත් කරන්නේ, නූතන ගොබෙල්ස්ලාය.

මෙබඳු ආකාරයේ ප‍්‍රවෘත්ති නිර්මාණයේ ඉලක්කය ජ.වි.පෙ.ට එරෙහි මඩ ගැසීමකට වඩා ඉවසාගත නොහැකි ආර්ථික පීඩනය හමුවේ ආණ්ඩු විරෝධයකට ගොනුවීම සඳහා බලාපොරොත්තු සහගතව සිටින පොදු ජනතාව දුර්මුඛ කිරීමය.

ඔවුන් අරගල මගින් ඉවතට ඇද දැමීමය. ආණ්ඩුවේ දිගු කාලීන හා කෙටි කාලීන වුවමනාව එයය. විශේෂයෙන්ම හුදු වෘත්තීය ඉල්ලීම්වලින් ඔබ්බෙහි වන පොදුජන සටන්පාඨ වටා ජනතාව ඒකරාශිවීම ආණ්ඩුවේ අර්ථයෙන් මාරාන්තිකය. එබැවින් එම ආදර්ශය අකාමකා දැමීම, මේ සියලූ නින්දිත උත්සාහයන්හි පදනම වන බව පැහැදිළිය.

. එබැවින් ආණ්ඩුවේ මෙබඳු “පැළ කරන ලද” පුවත් ප‍්‍රතික්ෂේප කරන ලෙසත් එහි දුෂ්ට උත්සාහය උපන් ගෙයිම පරාජයට පත්කරනු පිණිස ඉදිරියේදී වඩවඩාත් උස්ව නැගෙන ජනතා අරගල සමග ආණ්ඩුවේ බියවැද්දීම් නොසලකා අත්වැල් බැඳගන්නා ලෙසත් ජනතාවගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

විජිත හේරත්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී

ප‍්‍රචාරක ලේකම්

ජනතා විමුක්ති පෙරමුණ