අගවිනිසුරු සරත් නන්ද සිල්වා මාවත බැසිල් අතින් ජනතා අයිතියට

අගවිනිසුරු සරත් නන්ද සිල්වා මාවත බැසිල් අතින් ජනතා අයිතියට

May 25, 2013   01:06 pm

සේරුවිල සහ සෝමාවතී රජමහා විහාරස්ථාන යා කරමින් ඉදිවූ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මාවත අද (25) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විවෘත කර තිබේ.

උභය විහාරාධිපතිවරුන්ගේ අනුශාසනා පරිදි අද පෙරවරු 9.30 ට යෙදී තිබූ සුබ නැකතින් එම පාලම සහ මාර්ගය විවෘත කෙරිණ.

පෙර රජ දවස පටන් පැවත එන හෙළ සිරිතට අනුව ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමේ සහ පෝෂණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අදාළ මාර්ගය ඉදිකර ඇත.

සෝමාවතිය නව පාලම සහ මාර්ගය ඉදිකිරීම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 400කි.

සරත් නන්ද සිල්වා මහතා 1999 - 2009 කාලය තුළ මෙරට අගවිනිසුරු ධුරය හෙබවීය.

කෙසේ වෙතත් ඔහු විසින් ලබාදුන් මතභේදාත්මක නඩු තීන්දු කිහිපයක් නිසා 2010 ජනාධිපතිවරණයේ සිට සරත් නන්ද සිල්වා මහතා ගැන සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්විය.

විශේෂයෙන් 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාගේ ඇතැම් රැස්වීම් සඳහා සහභාගි වෙමින් ඔහු වෙනුවෙන් සහය පළ කිරීම ගැන එකල ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි කතා බහට ලක්වූ මාතෘකාවක් විය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව කියමින් සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය පළ කරමින් එකල ඔහු කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.

එසේම හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ චරිතය මෑතකදී වඩාත් කතා බහට ලක්වූයේ හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගයට අදාළ මාතෘකාවේදීය.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමග එම දෝෂාභියෝග ක්‍රියාමාර්ගය නිසා හටගත් අවුල්කාරී තත්ත්වය අහෝසි වනු ඇති බවත් රජය මින් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ගවලින් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කරන බවට ඔප්පු කළ යුතුව තිබෙන බවත් හිටපු අගවිනිසුරුවරයා පවසා තිබුණි.

එසේම රජය එය ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතු නොවන බවත් ඉහළ විනිසුරුවරයෙකුගේ විෂම පැවැත්මක් සම්බන්ධයෙන් ගන්නා ලද ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයක් ලෙස පමණක් එය සැලකිය යුතු බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වාදී තිබිණ.

සරත් නන්ද සිල්වා මහතාට චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය විසින් අගවිනිසුරු ධුරය පිරිනමන්නට තීරණය කළ අවස්ථාවේ ඇයගේම පක්‍ෂයේ නීතිඥ සංගමය පවා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණු බව කියැවෙයි.

ජනපතිනියට හා පොදු පෙරමුණට ඉතා සමීප ජනාධිපති නීතිඥ එච්. එල්. ද සිල්වා, නීතිඥ ඊ.ඩී. වික්‍රමනායක සහ නීතිඥ ආර්. කේ. ඩබ්ලිව්. ගුණසේකර යන මහත්වරු පෞද්ගලිකවම ජනාධිපතිනිය හමුවී මෙම පත්වීම නොකරන ලෙසට ඉල්ලා සිටි බව පැවසෙයි.

අගවිනිසුරු තනතුරට පත්වූදා සිට එම තනතුරු ලබාදුන් දේශපානඥයන් වෙනුවෙන් වරද සහගත නඩු තීන්දු ලබාදුන් බවට ද සරත් නන්ද සිල්වා මහතා ගැන දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහ ඇති විය.

එසේම ඔහු ලබාදුන් නඩු තීන්දු පිළිබදව 2005 ජනාධිපතිවරණයේදීත් මැතිවරණ වේදිකාවේදී විවිධ අදහස් පළ විණ.

හෙල්පින් හම්බන්තොට ගිණුමට රජයේ මුදල් බැර කර ගැනීමේ චෝදනාවේදී සිල්වා මහතා එහි වරදක් නොදුටු බවට එජාපය එවකට චෝදනා කළේය.

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම, ඉන්ධන මිල නියම කිරීම වැනි නඩු තීන්දුවලදී සරත් නන්ද සිල්වා මහතා සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහට ලක් විය.

ජනාධිපති බලතල සදාචාර විරෝධී ලෙස භාවිත කොට 2001 වසරේදී ප්‍රජාතන්ත්‍රීය ලෙස බලයට පත් වූ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසිරුවා හැරීමට උපදෙස් හා නීතියේ රැකවරණය ලබා දුන්නේ ද ඔහු බවට එජාප මන්ත්‍රීවරුන් චෝදනා කර තිබුණි.

මෙවන් වතාවරණයක් යටතේ ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට ඉල්ලා අස්වෙන ලෙසට බලපෑම් කිරීම ගැන විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් සරත් නන්ද සිල්වා මහතාගේ ක්‍රියාකලාපයන් දැඩිලෙස විවේචනය කරන ලදි.

මේ හේතුවෙන් ඔහු දේශපාලන ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ කර නොගැනීමට එක්සත් ජාතික පක්‍ෂය ද තීරණයක් ගෙන තිබුණි.

මේ අතර හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අධිකරණ පද්ධතියට කළ හානිය යළි ආපස්‌සට හැරවිය නොහැකි යැයි එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා 2012 දෙසැම්බර් 01 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් ද කර තිබුණේය.

දක්‍ෂ, හොඳ විනිසුරුවරුන් ඉවත්කළා සේම විපක්‍ෂය විනාශ කළේද සරත් එන්. සිල්වා මහතා බවත් විපක්‍ෂයට මේ තත්ත්වය අත්කළ සරත් එන්. සිල්වා මහතා අද විපක්‍ෂය කොහේදැයි ප්‍රශ්න ප්‍රශ්න කරන බවද දයාසිරි ජයසේකර මහතා පවසා තිබුණි.

විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්‌ඩු පක්‍ෂයේ අසුන් ගැනීමට අවස්‌ථාව ලැබී ඇත්තේ සරත් නන්ද සිල්වාගේ නඩු තීන්දුවක්‌ නිසා බවත් සුනාමි සහන මණ්‌ඩලයෙන් ගලවා ගනිද්දී ආණ්‌ඩුව සරත් එන්. සිල්වා මහතාගේ ගුණ ගායනා කළ කී බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේය.

කෙසේ වුවද ඔහුගේ සේවාව වෙනුවෙන් කෙරෙන උපහාරයක් ලෙස සේරුනුවර - සෝමාවතී මාර්ගය අගවිනිසුරු සරත් නන්ද සිල්වා මාවත ලෙස නම් කර ඇතැයි සඳහන්ය.