ආසනික් බිය පතුරුවමින් කිරිපිටි මිල වැඩි කරන්නයි ආණ්ඩුව හදන්නේ

ආසනික් බිය පතුරුවමින් කිරිපිටි මිල වැඩි කරන්නයි ආණ්ඩුව හදන්නේ

May 14, 2013   11:54 am

කිරිපිටි මිල රුපියල් 100කින් වැඩි කිරීමට නියමිත බවත් කිරිපිටිවල ආසනික් ඇති බව කියමින් ජනතාව මුලාකරන කතාවක් ආණ්ඩුව පතුරුවන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

කිරිපිටි මිල වැඩි කිරීම ගැන සාකච්ඡා සිදුවන බව ආරංචි වී ඇතැයි ද කොළඹදී අද (14) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

උතුරේ ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු නිවැරදිව සිදුනොකර මැතිවරණය පැවැත්වීමට විරුද්ධ බව ජාතික හෙළ උරුමයත් ඇමති විමල් වීරවංශත් ප්‍රකාශ කර ඇති බව තිස්ස අත්තනායක මහතා කීවේය.

එසේම ඔවුන් ඊට එරෙහිව අධිකරණයට යන බව පවසා ඇති බවත් උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව ප්‍රකාශ කළේ විපක්ෂය නොවන බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

කෙසේ හෝ විමල් වීරවංශ නළුවෙක්ගේ චරිතය රඟපාන බවත් එහි අධ්‍යක්ෂවරයා ඉන්නේ වෙනත් කෙනෙකු බවත් ඔහු කීවේය.

මේ අතර ඉදිරි පොදුරාජ්‍ය මණ්ඩලයට ආරාධනා ලැබු‍ණහොත් සහභාගි වන බවද එහෙත් ඊට මුවාවෙන් සිදුකරන කෝටි ගණනක් මුදල් නාස්තියට විරුද්ධ බවද හෙතෙම පැවසීය.

එසේම ගුවන් යනා මිලදී ගැනීම පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සමගාමීව සිදුකරන්නේ ද යන්න තිස්ස අත්තනායක මහතා විමසීය.

ගුවන් යානා මිලදී ගැනීමට සුදානම් වන බව කියන ආයතනයේ ඉහළ නිලධාරියෙකු මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ අයෙකු බවද හෙතෙම පැවසීය.

තවද ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන සමාගම ඇතුළු ආයතන 4ක් වසා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද ඔහු කීවේය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ බස්නාහිර පළාත් සභා එජාප මන්ත්‍රී සී.වයි.පී. රාම් මහතා පැවසුවේ ආණ්ඩුව 19 වැනි සංශෝධනයක් ගෙනැවිත් ඉඩම් බලතල හා පොලිස් බලතල අහෝසි කිරීමට සුදානම් වන බවයි.