මෙගා වොට් ගිගා වොට් දන්නේ නැති පවිත‍්‍රා ගල් අඟුරු බලාගාර හදලා විදුලි බිල අඩුකරනවාලු!

මෙගා වොට් ගිගා වොට් දන්නේ නැති පවිත‍්‍රා ගල් අඟුරු බලාගාර හදලා විදුලි බිල අඩුකරනවාලු!

April 28, 2013   02:24 pm

කේ.පී.ලා, දයා මාස්ටර්ලා, කරුණලා, පිල්ලෙයාන්ලා හුරතල් කරමින් සිටින ආණ්ඩුව පාර්ලිමේන්තුව පෙන්වන්න එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් එක්කගෙන එන බවත් ඒ අතරම උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් කොල්ල කන බවත් ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

උතුරේ මෙන්ම රට වටේම ඉඩම් කොල්ල කන ආණ්ඩුව බහුජාතික සමාගම්වලට ඉඩම් පවරා දෙමින් සිටින බවත් ඔහු පෙන්වාදෙයි.

කොළඹදී අද (28) පැවැත් වූ මාධ්‍ය හමුවකදී ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසූ අතර එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ මොහොතේ උතුරු නැගෙනහිර ජනතාවට බලපාන ප‍්‍රධාන ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. නමුත් මාධ්‍ය මගින් යොමුවෙලා තියෙන අවධානය අඩු නිසා එම ජනතාවගේ ගැටලූ පාගා දැමීමට ආණ්ඩුව උත්සාහ දරමින් ඉන්නවා.

ලබන මැයි 19වනදා වනවිට යුද්ධය අවසන් වී වසර 4ක් ගතවී තිබෙනවා. මෙම වසර හතර ඇතුළත ආණ්ඩුව යුද්ධය නිසා පීඩාවට පත් වූ ජනතාවට, ඔවුන්ගේ ප‍්‍රශ්නවලට විසඳුමක් දිය යුතුව තිබුණා. ඔවුන්ගේ ප‍්‍රශ්නවලට සවන්දිය යුතුව තිබුණා.

නමුත් යුද්ධය අවසන් වී විශාල කාලයක් ගතවි තිබුණත් උතුරු නැගෙනහිර ජනතාවට ඔවුන්ගේ ගැටලූවලට විසඳුම් වෙනුවට ආණ්ඩුව තව තවත් ගැටලූ නිර්මාණය කරමින් ඉන්නවා.

වසර 30 ක පමණ කාලයක් පැවති යුද්ධයට ජාතිවාදය වැපිරීම්, රට පාලනය කළ ආණ්ඩුවල වැරදි ප‍්‍රතිපත්ති, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැකිළීම හේතු වූණා.

යුද්ධයෙන් පස්සේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගීම, ජාතීන් අතර සමගිය ගොඩනැගීම, ශී‍්‍ර ලංකාව තමන්ගේ රට කියන හැඟීම හදන්න තවමත් ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව උතුරු නැගෙනහිර ජනතාව බෙදුම්වාදයේ දිශාවට තල්ලූ කරමින් ඉන්නවා.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතර අවතැන් වූවන්ගේ ගැටලුව මින් ප‍්‍රධාන එකක්.

ආණ්ඩුව එම ප‍්‍රදේශවල ජනතාව නැවත පදිංචි කරනවා වෙනුවට සමහරු කැලෑ ප‍්‍රදේශවලට ගෙනිහින් දැම්මා. තවත් සමහර ජනතාව තවමත් ඉන්නේ අවතැන් කඳවුරුවල. සාධාරණ ලෙස පදිංචි කර මිනිසුන් ලෙස ජීවත් වීමට අවශ්‍ය අවස්ථාව හදලා දෙන්න ආණ්ඩුව අසමත් වුණා.

ඒ වගේම එම ප‍්‍රදේශවල සිවිල් පාලනය තහවුරුවෙලා නැහැ. එල්.ටී.ටී.ඊ.යේ බලහත්කාරය යටතේ ජීවත් වූ ජනතාවට දැන් ආණ්ඩුවේ හමුදා බලහත්කාරය යටතේ ජීවත් වීමට සිදුවෙලා.

අර්ධ මිලිටරි පාලනයක් උතුරු නැගෙනහිර පවත්වාගෙන යනවා. උතුර කියන්නෙත් අපේ රටේම කොටසක්. එම ජනතාවටත් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, තහවුරු කළ යුතුයි.

උතුරේ මැතිවරණයක් ගැන කතාකරන ආණ්ඩුව එම ප‍්‍රදේශවල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අකුළමින් ඉන්නවා. වෙනත් දේශපාලන පක්‍ෂවලට වැඩ කටයුතු කරන්න දෙන්නේ නැහැ. හමුදාව යොදවලා බලපෑම් කරනවා.

අලූතෙන්ම ඇතිවී තිබෙන ප‍්‍රශ්නය තමයි ආණ්ඩුව උතුරේ ජනතාවගේ ඉඩම් කොල්ල කෑම. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේද අවධානය යොමුවෙලා තිබෙනවා. යුද්ධය නිමාවූ පසු එම තත්ත්වය පාවිච්චි කරලා ජනතාව අතර සමගිය හදනවා වෙනුවට උතුරේ ඉඩම්, සම්පත් කොල්ල කන එක ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය බවට පත්වෙලා.

එම ප‍්‍රදේශවල රජයේ ඉඩම් මෙන්ම පෞද්ගලික ඉඩම්ද තිබෙනවා. එම පෞද්ගලික ඉඩම්වල තත්ත්වය ඉතාම බරපතළයි. එම ප‍්‍රදේශවල මුල් පදිංචිකරුවන් එල්.ටී.ටී.ඊ. බලපෑම් නිසා එම ප‍්‍රදේශ අත්හැරලා ගියා.

ඔවුන්ට ගම්බිම් අහිමි වුණා. අනාථ කඳවුරුවල ජීවත්වෙන ජනතාවට දැන් තමන්ගේ ඉඩම් ලබාදිය යුතුව තිබෙනවා. භේදයකින් තොරව එම ඉඩම් ලබාදිය යුතුයි. ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ තමන්ගේ වුවමනාවට බලහත්කාරයෙන් ඉඩම් පවරාගන්න එකයි.

යාපනයේ වලිකාමම් උතුර සහ නැගෙනහිර ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 6381ක් බලහත්කාරයෙන් අත්පත්කරගන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුව ඒ පිළිබඳ දැන්වීම් පවා අලවා තිබෙනවා.

යාපනයේ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ ඉඩම් පවරා ගැනීමේ නිලධාරියා වූ ඒ සිවසාමී මහතාගේ වගකීමෙන් යුතුව මෙම දැන්වීම් ප‍්‍රදර්ශනය කරනවා. මේවා සාමාන්‍ය ජනතාවගේ ඉඩම්.

මෙම ඉඩම් පවරාගැනීම සඳහා ආණ්ඩුව පාවිච්චි කරන්නේ 1964 සම්මත වූ අංක 28 දරන ඉඩම් පවරාගැනීමේ පනතයි.

වලිකාමම් උතුර තෙල්ලිපලේ, වලිකාමම් උතුර, කෝපායි ප‍්‍රදේශයේ, කන්කසන්තුරේ බටහිර සහ නැගෙනහිර, විමන්කාමම් දකුණ, තෛයිඉටි දකුණ, පලාලි දකුණ, කොට්ටාපුලම්, වලාලයි කියන ප‍්‍රදේශ ගණනාවක ඉඩම් අක්කර 6381 තමයි මේ විදියට පවරාගන්න යන්නේ.

මෙයට ග‍්‍රාමසේවා වසම් 27ක ඉඩම් අයත් වෙනවා. මෙම උතුරේ ජනතාවගේ ඉඩම් ආරක්‍ෂක හේතු මත යැයි කියමින් තාවකාලිකව අත්පත්කරගත් ආණ්ඩුව දැන් එම ඉඩම් නීත්‍යානුකූලව පවරාගන්න යනවා.

බරපතළම කාරණය පවුල් ගණනාවක පුද්ගලයින්ට තම ඉඩම් අහිමි වීමයි. මේ වන විට උතුරේ පවුල් දහදාහක පුද්ගලයින් 29000කට පමණ මේ වනවිට ඉඩම් අහිමිවී තිබෙනවා. ඔවුන් තවමත් අවතැන් කඳවුරුවල ජීවත් වෙනවා.

මෙම ඉඩම් ප‍්‍රශ්නය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේ ආණ්ඩුව කීවේ බිම් බෝම්බ නිසා ජනතාව පදිංචි කරන්න බැහැ කියලා. මේ හේතුවෙන් මල්ලාපුරම්, කෝපාපුරම් 1700 ක පමණ ජනතාවක් අවතැන් වී සිටිනවා.

ජනතාව මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග ගත්තත් ආණ්ඩුව ඔවුන්ට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන්ගේ ප‍්‍රශ්න නොවිසඳනවා පමණක් නොවෙයි ආණ්ඩුව දෙමළ ජනතාව බෙදුම්වාදය දෙසට යාමේ අනතුරක් නිර්මාණය කරලා තිබෙනවා. වෙනම රාජ්‍යක් ගොඩ නැගීමේ දිසාවට තල්ලූ කරමින් ඉන්නවා.

වඩමාරච්චි, මරුදන්කේනි පවුලක කිහිප දෙනෙකුට අයත්ව තිබූ ඉඩම් අක්කර 700ක් ආණ්ඩුව පවරා ගැනීමට උත්සාහ කරනවා. පහුගිය කාලේ ආණ්ඩුව උතුරේ දිස්ති‍්‍රක් පහේම කි‍්‍රයාත්මක වෙන විදියට ඉඩම් කච්චේරි හැදුවා.

ඒ හරහා සාධාරණ ලෙස ඉඩම් බෙදා දෙනවා වෙනුවට ආණ්ඩුව කළේ උතුරේ ජනතාවට අයිතිය ඔප්පු කරන් බැරි ඉඩම් ආණ්ඩුවට පවරා ගත්ත එකයි. පූජනීය ස්ථාන පවා මේ ආකාරයෙන් පවරා ගන්නවා.

කෝවිල්වලට අයත් ඉඩම් පවරා ගන්නවා. මෙය සංස්කෘතික අතින් බරපතළ හානියක්. කවදාවත් රටක ආණ්ඩුවක් පූජනීය ස්ථානවල ඉඩම් පවරා ගන්නේ නැහැ.

ආණ්ඩුව ඉතාම හිතුවක්කාරී ස්වභාවයකින් කටයුතු කරනවා. උතුරේ ජනතාවගේ කැමැත්ත ආණ්ඩුවට වැඩක් නැහැ. ආණ්ඩුවට හිතවත් අය සනසනවා. කේ.පී.ලා දයා මාස්ටර්ලා, කරුණලා, පිල්ලෙයාන්ලා හුරතල් කරමින් ඉන්නවා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පාර්ලිමේන්තුව පෙන්නන්න එක්කං එනවා. නමුත් ආණ්ඩුව උතුරේ ජනතාවගේ ඇත්ත ගැටලූ විසඳන්නේ නැහැ.

මඩකළපුව ප‍්‍රදේශයේත් මෙම ඉඩම් පවරා ගැනීම් වාර්තා වෙලා තිබෙනවා. කිරාන් ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 115ක්, වාලච්චේනෙයි අක්කර 13ක්, චෙංකලාඩි අක්කර එක හමාරක්, පට්ටිපලෙයි ප‍්‍රදේශයේ ඉඩම් අක්කර පහ හමාරක් මේ විදියට පවරාගෙන තිබෙනවා. මඩකළපුව රෝහලේ පිළිකා ඒකකයක් ඉදිකරන්න වෙන් කර තිබූ ඉඩම් කොටසත් ආණ්ඩුවට පවරා ගත්තා.

ඒ වගේම ආණ්ඩුව රජයේ ඉඩම්වල කැලෑ හෙළි කිරීම නිසා විශාල පරිසර ප‍්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. හමුදාමය සහ ආර්ථික කි‍්‍රයාවලට යැයි කියමින් ආණ්ඩුව මහා පරිමාණයෙන් කැලෑ ඉඩම් හෙළි කරමින් ඉන්නවා.

මන්නාරම් ප‍්‍රදේශයේ මාන්දෙයි ඉඩම් අක්කර 500ක්, මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 500ක්, තලෙයි මන්නාරමේ අක්කර 100ක්, ඒ වගේම මුලතිව් ප‍්‍රදේශයේ ඖෂධ වගාකර තිබූ ඉඩම් අක්කර 295ක් මේ විදියට හෙළිකර තිබෙනවා.

උතුරු නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ඉඩම් හිමිකම් ඔප්පු කරගැනීමට බැරුව ජනතාව අවතැන් වී සිටියදී ආණ්ඩුව දකුණේ ඉන්න තමන්ගේ පාක්‍ෂිකයින් එම ප‍්‍රදේශවල පදිංචි කිරීමේ කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කරමින් ඉන්නවා.

පහුගිය දවස්වල වාර්තා වුණා හම්බන්තොට ප‍්‍රදේශයේ පිරිසක් කිළිනොච්චියේ පදිංචි කළ බවට. ආණ්ඩුව මුද්‍රණය කළ ආකෘති පත‍්‍රයක් ජනතාව අතර බෙදා දෙමින් උතුරේ ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවට තහවුරු කිරීමට ග‍්‍රාමසේවක නිලධාරීන්ගේ අත්සන් ගැනීමට උත්සාහ දරමින් ඉන්නවා.

ආණ්ඩුවට ඡන්දය ලබාගැනීමේ අරමුණින් උතුරු ප‍්‍රදේශයේ දකුණේ ජනතාව පදිංචි කරමින් ඉන්නවා.

රටට විරුද්ධව ඉන්දියාවත්, අධිරාජ්‍යවාදී ආයතනත් බලපෑම් කරමින් ඉන්න අතරේ ඊට අවශ්‍ය කරන වටපිටාව සහ ඊට අදාල කරුණු ලබාදෙන්න ආණ්ඩව කටයුතු කරනවා. පසුගිය දිනවලදී තමිල්නාඩුවේ ප‍්‍රශ්නයක් ඇතිවුණා.

ශී‍්‍ර ලාංකිකයෙකුට තමිල්නාඩුවට යන්න බැරි තත්වයක් උදා වුණා. ඒ ආකාරයේ මුග්ධ, තකතීරු ආණ්ඩුවක් තමයි අපට තිබෙන්නේ. රටේ ජනතාව මත ප‍්‍රශ්න ගොඩ ගහනවා. බෙදුම්වාදය වර්ධනය කරනවා. බෙදුම්වාදයට උදව් කරමින් ඉන්නවා.

කේවට්ට ඇමතිවරු දේශපේ‍්‍රමය ගැන විවිධ කථා කියමින් ජනතාව අතර අසමගිය ඇති කරනවා. මේ රටේ ජනතාවට ශී‍්‍ර ලංකාව තමන්ගේ රට යැයි කීමට පවා ලැජ්ජා හිතෙන තත්ත්වයක් උදා කරලා තිබෙනවා.

එනිසා අපි ආණ්ඩුවට බලකරනවා වහාම උතුරේ ජනතාවගේ ගැටලූවලට විසඳුම් ලබාදෙන්න කියලා. ඒ වගේම උතුරේ ඉඩම් කොල්ලය වහා නැවැත්විය යුතුයි. උතුරේ වගේම රට වටේම ඉඩම් කොල්ල කන ආණ්ඩුව බහුජාතික සමාගම්වලට ඉඩම් පවරා දෙමින් ඉන්නවා.

ඒ නිසා ඉඩම් නිරවුල් කිරීමේ කොමිසමක් පත්කළ යුතුයි. ඒ මගින් එම ඉඩම්වල මුල් පදිංචිකරුවන්ට බේදයකින් තොරව ඉඩම් ලබාදිය යුතුයි. බලය ගන්නා විට රටේ භාරකරුවා කියපු රාජපක්‍ෂ දැන් රටේ අයිතිකරුවා බවට පත්වෙලා.

ලංකාව මැදමුලන වලව්වේ වත්තක් කියලා මහින්ද රාජපක්‍ෂලා හිතාගෙන ඉන්නවා. මෙම ඉම් කොල්ලයට විරුද්ධව උතුරේත්, දකුණේත් ජනතාව සමග එකතුවෙලා අරගලයක් දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ලබා දෙනවා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

මීට කලින් අපි වව්නියාවේදී සහෝදරත්වයේ ජනතා පවුර ලෙස පුවත්පත් සාකච්ඡාවක් කළා. ඒ වගේම උතුරේ ජනතාවගේ ඉඩම් ඔවුන්ට ලබාදෙන්න යැයි ඔවුන්ට බලකරමින් උද්ඝෝෂණයක් කළා.

ආණ්ඩුව මේ වනවිට වෙනත් දේශපාලන පක්‍ෂවලට උතුරේ දේශපාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් අපි කියනවා කුමන බාධා ආවත් අපි අපේ කි‍්‍රයාමාර්ග නවත්වන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න පුළුවන්ද කියලා අවධානය යොමු කරනවා. නමුත් ලංකාවේ ඉඩම් නඩු කියන්නේ අවුරුදු 15-20ක්, 30ක් ඇදෙන නඩු. එනිසා තමයි අපි කියන්නේ ඉඩම් කොමිසමක් හරහා මුල් පදිංචිකරුවන්ට ඉඩම් ලබාදීමට පියවරක් ගතයුතුයි කියලා.

විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය මීට පෙරද කියා තිබෙනවා. ඊට එරෙහිව උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග, පෙත්සම් අත්සන් කිරීම්වල මේ වනවිට නිරත වෙලා ඉන්නවා.

එම විදුලි බිල වැඩිකිරීම ආණ්ඩුවට එතරම් ලේසි වෙන එකක් නැහැ. මෙම වැඩිවීම දේශපාලන භේදයකින් තොරව සියලූ දෙනාට දැනෙනවා. එනිසා ජනතාව මෙම උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ගවලට එකතුවෙමින් ඉන්නවා.

අපි හිතන්නේ මෙය ආණ්ඩුවේ පරාජයේ ආරම්භය කියලයි. එනිසා තමයි ආණ්ඩුව වෙන වෙන කි‍්‍රයාමාර්ගවල නිරත වෙමින් ඉන්නේ. ඇමතිවරු තමන්ගේ ඇඟ බේරාගැනීමේ කි‍්‍රයාමාර්ග අනුගමනය කරනවා. විමල්, චම්පික, වාසුදේව, මහින්ද රාජපක්‍ෂව බේරන්න එහි වගකීම නිලධාරින්ට පවරමින් ඉන්නවා.

චම්පික මෙහි වගකීම මුදල් අමාත්‍යාංශ ලේකම්ට පවරනවා. මුදල් ඇමති රාජපක්‍ෂ දන්නේ නැතිව අමාත්‍යංශ ලේකම් වැඩ කරනවා. මෙවැනි විහිලූ කතා කියමින් වගකීමෙන් බේරෙන්න ආණ්ඩුවට බැහැ.

මහින්ද රාජපක්‍ෂ ඇතුලූ සියලූ දෙනා මෙයට වගකිව යුතුයි. මෙය ආණ්ඩුව සාමූහිකව ගත් තීරණයක්. පවිත‍්‍රා සතියක් හැංගිලා හිටියා. එළියට ඇවිත් කිව්වා මට කරන්න දෙයක් නැහැ කියලා. මේක චම්පිකගේ වැඩක් කියලා කිව්වා.

මේ ආකාරයෙන් වගකීම බාරගන්නේ නැත්තේ විදුලි බිල වැඩිවීම තමන්ට හානිකර නිසයි. ඒ මදිවාට මහජන උපයෝගිතා කොමිසමේ කොස්තා මහත්තයා ජනතාව නොමග යවමින් ඉන්නවා.

මෙගා වොට්, ගිගා වොට් දන්නේ නැති පවිත‍්‍රා ඇමතිතුමිය කියනවා ගල් අඟුරු බලාගාර හදලා ලබන අවුරුද්දේ විදුලි බිල අඩුකරනවා කියලා.

එනිසා මොවුන් කරමින් ඉන්නේ ජනතාවගේ බුද්ධියට නිගරු කිරීමක්. එනිසා ජනතාව මේ ආණ්ඩුවට පාඩමක් ඉගැන්විය යුතුව තිබෙනවා.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු දෙකක් තිබෙනවා. 2012 වර්ෂයේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම බිලියන එකයි. නඩත්තු, පොලී වාරික සඳහා වියදම රු. බිලියන 6.5යි. පාඩුව රු. බිලියන 5.5ක්.

එනිසා මෙම පොලී වාරික ගෙවීමේ අනතුර ජනතාව මත කඩා වැටී තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂගේ උපන් දිනයට සහ ඔහුගේ දේශපාලන අවශ්‍යතාවයන්වලට විවෘත කරන්න ප‍්‍රමිතියකින් තොරව දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර අවසන් කළා.

එම මාර්ගයේ ප‍්‍රමිතිය බාල නිසා දැන් ජනතාව විශාල ලෙස අනතුරුවලට ලක්වෙමින් ඉන්නවා. ජනතාව මුදල් ගෙවා මෙම මාර්ගයේ ගමන් ගන්නා අතර ප‍්‍රමිතියෙන් තොර නිසා මාරක අනතුරුවලට මුහුණ දෙනවා.

දක්‍ෂිණ අධිවේගී මාර්ගය මිනිසුන් මරන මාර්ගයක් බවට පත් වෙලා.

එනිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයේ ප‍්‍රමිතිය බාල නිසා සිදුවන අනතුරු සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කළ යුතු බවයි. ආණ්ඩුව ජනතාවට වන්දි ගෙවිය යුතුව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ.