මහින්ද රාජපක්‍ෂ පාලනයේ අවසානය ආරම්භය මෙයයි

මහින්ද රාජපක්‍ෂ පාලනයේ අවසානය ආරම්භය මෙයයි

January 13, 2013   05:24 pm

ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අහිමි වන්නේ රැකියාව පමණන් නමුත් රටේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය නැතිවී යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තුව රූකඩ මඩුවක් බවට පත්වී ඇති බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නූල් අදිනකොට මන්ති‍්‍රවරුන්ගේ හෘදය සාක්‍ෂිය පැත්තක තබා ඔවුන් අත් උස්සන මට්ටමට පත්වී ඇති බවත් අද (13) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ ද පවසන ලදී.

ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද දෝෂාභියෝග කි‍්‍රයාවලියේ අවසාන ඉලක්කය වශයෙන් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බව හෙළිවී තිබෙනවා. මේ දෝෂාභියෝග කි‍්‍රයාවලියේදී ආණ්ඩුවට ජයග‍්‍රහණය කළ බව ආණ්ඩුවේ අදහස වුවද මෙය මහින්ද රාජක්‍ෂ පාලනය මාරාන්තික තුවාල ලැබූ සටනක් බවට මෙය පත්වුණා.

රාජපක්‍ෂ පාලනය අවසාන කිරීමේ ආරම්භය මෙයින් සටහන් වී ඇති බව පැහැදිළියි. ඒ වගේම ශිරාණි බණ්ඩානායක මහත්මියට අහිමි වන්නේ රැකියාව පමණයි. නමුත් මේ රටේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අධිකරණයක් මගින් යුක්තිය පසිඳලා ගැනීමේ කි‍්‍රයාවලිය අහිමිවී යන බවත් මෙයට එරෙහිව පළල් ජනතා පෙරමුණක් ගොඩනගමින් ජයග‍්‍රහණය දක්වා සටන් වදින බවත් අපි ප‍්‍රකාශ කරන්න කැමතියි.

අධිකරණයේ මතුවී තිබෙන ප‍්‍රශ්නය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මුල ඉඳලම දැරූ ස්ථාවරයක් තිබුණා. අගවිනිසුරුවරිය ඉවත් කිරීමම අරමුණුකරගත් දෝෂාභියෝගයක් ගෙනාවේ ඒ අනුවයි. එය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තීන්දු කළා. නමුත් අවසානයේදී එම අධිකරණ දෙකේ තීන්දු පිළිනොගනිමින් ආණ්ඩුව හිතුවක්කාරී ලෙස කටයුතු කරමින් සිටිනවා.

තේරීම් කාරක සභාවේ සම්මත කළ යෝජනාවලට ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය පළ කළා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබාදුන් තීන්දු අපි පිළිගන්නවා. පවතින ව්‍යවස්ථාව පිළිබඳව අපිට බරපතළ ගැටළු තිබුණත් අද පවතින ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ව්‍යවස්ථා අර්ථකථනත් ඒ අනුව අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුත් අපි පිළිගන්නවා.

අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් ප‍්‍රශ්නය අවසන් වේ යැයි ආණ්ඩුව සිතනවා නම් එය දැන දැන කරගන්නා මුලාවක්. ප‍්‍රශ්නය අවසන් වී නැහැ. ප‍්‍රශ්න ගණනාවක් ගොඩනැගෙන්නේ මෙතැනින් ඉදිරියටයි. ප‍්‍රජානත්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය, නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී අත්තනෝමතික ආණ්ඩුවක් බලය පවත්වාගෙන යාම පිළිබඳ ප‍්‍රශ්නය අද මතුවී තිබෙනවා.

අධිකරණයේ තීන්දු නොතකා කටයුතු කළහැකි බව රටට තහවුරුකර තිබෙනවා. දැනට කි‍්‍රයාත්මකව පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා අධිකරණයට වගකියන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවත් අධිකරණය පිළිනොගනිමින් කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුවේ අධිකරණය සම්බන්ධ කටයුතුවල පරස්පර විරෝධයක් තිබෙනවා.

දිවි නැගුම පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ පිළිගත්තා. එයට පටහැනිව කි‍්‍රයාකරමින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳව තේරීම් කාරක සභාව ලබාදුන් තීන්දු පිළිනොගෙන කටයුතු කරනවා. මින් පැහැදිළි වන්නේ මේ ආණ්ඩුවේ සපත්තුවට අධිකරණය යටකරගෙන ඇති බවයි. මේ තත්ත්වය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පවත්වාගෙන යන ධනවාදී සමාජයටත් සතුරුයි. අද කි‍්‍රයාත්මක වෙන්නේ ජන වරමක් නැති පාර්ලිමේන්තුවක් බව ඔප්පු වී තිබෙනවා. පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ ජනතාවගේ කැමැත්ත එලෙසින්ම සාධාරණව, නිරූපනය වන්නේ නම් පමණයි. නමුත් මේ පාර්ලිමේන්තුවේ නිරූපනය වන්නේ 2010 මැතිවරණයෙන් ලබාදුන් ජනතා කැමැත්ත නොවේ.

පාර්ලිමේන්තුව රූකඩ මඩුවක් බවට පත්වෙලා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නූල් අදිනකොට මන්ති‍්‍රවරුන්ගේ හෘදය සාක්‍ෂිය පැත්තක තබා අත් උස්සන මට්ටමට පත්වෙලා. අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසයත් මේ ආකාරයෙන්ම බිඳ දමා තිබෙනවා.

ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කර ඒකාධිපති ගමනක් යාමේ පියවරයන් කීපයක් මේ වෙනුවට අනුගමනය කර තිබෙනවා. මේ නීති විරෝධී පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පළමු පියවරයි. මේ සංශෝධනය හරහා එක් පුද්ගලයෙකුට ජනාධිපතිධූරය දැරිය හැකි අවස්ථා දෙකේ සීමාව සම්පූර්ණයෙන්ම අහෝසි කළා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ කථානායක තනතුරට චමල් රාපක්‍ෂ මහතා පත්කොට තමන් අතට පාර්ලිමේන්තු බලයත් ගත්තා. ඒ දෙවනි පියවරයි. තුන්වන පියවරේදී අධිකරණයේ බලය තමන් අතට අරගෙන තිබෙනවා. මේ ප‍්‍රශ්නයේ නිමාව නොවෙයි. ප‍්‍රශ්නයේ ආරම්භයයි. මින් ඉදිරියට රට තුළ ඇතිවන සියලූම තත්ත්වයන්ට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සෘජුවම වගකිව යුතුයි.

රෝමයේ පැවති වහල් යුගයේදී වහලූන් අතර සටන් පැවතුණු බව අපි දන්නවා. ඒ සටන් කෙළවර වුණේ ප‍්‍රතිවාදියෙකුගේ මරණයෙන්. නමුත් සටනින් ජයග‍්‍රහණය කළ කෙනත් මාරාන්තික තුවාල ලබනවා. අවසානයේ ඔහුත් මිය යනවා. අද මහින්ද රාජපක්‍ෂ පාලනය අධිකරණය සම්බන්ධයෙන් ගෙනගිය සටනින් ජයග‍්‍රහණය ලබා තියෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් මහින්ද රාජපක්‍ෂ පාලනයේ අවසානය ආරම්භ වන්නේ මෙතනින් බව අපට පැහැදිළියි.

ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අහිමි වන්නේ රැකියාව පමණයි. නමුත් රටේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය නැතිවී යනවා. පවතින නීති කි‍්‍රයාදාමය පිළිබඳව අපට ප‍්‍රශ්න තිබෙනවා. නමුත් මෑත කාලීන උදාහරණ කිහිපයකින් පැහැදිළි වන්නේ අධිකරණයේ පවතින සීමිත ඉඩකඩ තුළ පවා ජනතාවට යම් ප‍්‍රමාණයක සාධාරණයක් ලබාගත හැකි බවයි.

උසස් පෙළ ඉසෙඩ් ස්කෝර් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවත් බලයෙන් ඒකාබද්ධ කර තිබූ උතුරු නැගෙනහිර පළාත් සභා වෙන් කිරීම සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවත් සුනාමි සහන මණ්ඩලය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවත් උදාහරණ හැටියට දක්වන්න පුළුවන්. මේ අනුව අග‍්‍රවිනිශ්චයකාරවරිය ඉවත්කිරීමේ මේ කි‍්‍රයාවලිය රටේ පුරවැසියන්ට ලොකු දේවල් අහිමි වෙමින් තිබෙන බව. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත්කිරීමේ අවශ්‍යතාවය එක පැත්තකින් පැවතියා. නමුත් මේ සම්බන්ධයෙන් තමා වගකීමක් නොදරන බව පෙන්වීමට උත්සහායක් ගෙන ගියා.

දෝෂාභියෝග කි‍්‍රයාවලියෙන් බේරීමට ජනාධිපතිවරයා විවිධ උපක‍්‍රම යෙදුවේ ඒ නිසයි. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාර්තාවෙන් ගැලවීමට ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. මේ කමිටුව ගැන කවුරුත් දන්නේ නැහැ. මර්වින් සිල්වා මහත්තයත් ඒකේ ඉන්න පුළුවන්. කොහොම වුනත් මේ කැකිල්ලේ තීන්දුවට අද ජනාධිපතිවරයා අත්සන් කර තිබෙනවා. අපි නැවතත් අවධාරණය කරන්නේ මේ කි‍්‍රයාමාර්ගයේ වගකීමෙන් රාජපක්‍ෂ ජනාධිපතිවරයාට මිදෙන්න බැහැ. රාජපක්‍ෂ පවුලට ඇතිවූ මදි පුංචිකමක් යැයි කියමින් පාර්ලිමේන්තුවත් මුළු රටත් අර්බුදයට යවා තිබෙනවා. ආණ්ඩුව තමන්ට අවශ්‍ය කරන තීන්දුවත් ව්‍යවස්ථාවෙන් ලබා නොදීම නිසා ඒ අනුව පවතින නීති රීති කි‍්‍රයාත්මක නොකරමින් ජන මතය නොසලකා හරිමින් කටයුතු කරනවා.

පොලීසිය බලා ඉඳිද්දී මැරයන් අලූත්කඩේ උසාවිය ළඟ පොලූ අරගෙන ප‍්‍රහාරයකට ඇවිත් හිටියා. මේක මාකෝස් පන්නයේ ආණඩුවක් බවට ඔප්පු කළා. ජනාධිපතිවරයා සුදු ඇඳගෙන හිටියාට පොලූ මුගුරු ගත් මැරයින් පාවිච්චි කරමින් ජන මතය පාලනය කිරීමට උත්සාහ කරනවා. මහානායක හිමිවරුන්, නීතිඥ සංගමය, විනිශ්චයකාරවරුන්, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් යන සංවිධාන හා පූජ්‍ය පක්‍ෂය පවා කළ කිසිදු ඉල්ලීමක් ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ.

ඉතා බරපතළ ලෙස මාකෝස් පන්නයේ කටයුතු දියත් කළා. මෙහි අවසාන ප‍්‍රතිඵලය ලෙස අගවිනිසුරුවරුන් දෙදෙනෙකු සිටින තත්ත්වයකට පත්වී තිබෙනවා. නීත්‍යානුකූල ලෙස සිටින අගවිනිසුරුවරිය සහ මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් පැල කරන කෙනා යන දෙදෙනා කි‍්‍රයා කරන තත්ත්වයට අද පත්වී තිබෙනවා. ඉන් අනතුරුව ලබාදෙන අධිකරණ තීන්දු පිළිගන්නේ කොහොමද රට අරාජික තත්ත්වයට පත්වෙනවා. නීතියක් නැති පාලනයක් බවට පත්වෙනවා. පවුල් බලය රජකරන පාලනයක් බවට පත්වෙනවා.

දෝෂාභියෝගයට සම්බන්ධ මේ සමස්ත කි‍්‍රයාවලියම ජනතා විමුක්ති පෙරමුණ හෙළාදකිනවා. දෝෂාභියෝගය ගෙන ඒමේ අරමුණු සහගත කි‍්‍රයාවලිය අපි හෙළාදැක්කා. ඒ වගේම දෝෂාභියෝගය සම්බන්ධ නාඩගමේ පිටපත බවට පත්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අපි හෙළාදැක්කා. ඒ වගේම ශේෂ්ඨාධිකරණය සහ අධිකරණය ලබාදුන් තීන්දු නොතකා දෝෂාභියෝගය පාර්ලිමේන්තු විවාදයට ගැනීමට විරෝධය පළකර අපි එතැනින් ඉවත් වුණා.

එක්සත් ජාතික පක්‍ෂය මේ දෝෂාභියෝග කි‍්‍රයාවලිය විනාශ කරන පැත්තේ හිටියේ නැහැ. නීති විරෝධී යෝජනා සම්මත කරගනිද්දී ආණ්ඩුවේ තනිකමට හිටියා. අද ආණ්ඩුව කි‍්‍රයාකරන්නේ එකක් කඩතොළු මකාගන්නට ගොස් කඩතොළු 10ක් 15ක් හදාගත් ආචාරියාගේ ආකාරයටයි. දැනටම තුවාල ගොඩක් හදාගෙන. අපි මේ තත්ත්වයට එරෙහිව කටයුතු කරන්නේ මේ තුවාල ආණ්ඩුවට පමණක් සිදුවන නිසා නොවෙයි. රටේ ජනතාව මත මුළුමනින්ම බලපාන නිසයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ වීමෙන් රටේ ජනාතවගේ අයිතිවාසිකම් කප්පාදු වෙනවා. මේ නිසා දැවැන්ත ජනතා බලයක් එක්රැස් කරමින් මේ තත්ත්වය පරාජයට පත්කිරීමට අපි කි‍්‍රයා කරනවා. මේ ආණ්ඩුව වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න ඉන්නේ පොළු මුගුරු ගත් මැර කණ්ඩායම් විතරයි. අනෙක් පැත්තෙන් සමෘද්ධී අධ්‍යක්‍ෂ ජනරාල් වැනි නිලධාරීන් ලවා චක‍්‍රලේඛ නිකුත් කරමින් දැඩි බලපෑම් කරමින් ගෙන්වා ගන්නා රජයේ සේවය කරන යම් කොටසක් පමණයි.

අපි ගොඩනගන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ජනතා බලවේගයක්. මේ බලවේගය ජයග‍්‍රහණය කරා ගෙනයාමට අපි කි‍්‍රයාකරනවා. දැනටමත් පැහැදිළි වී තිබෙන්නේ මේ ආණඩුව පැවතියදී ආණඩුවේ එක් එක් කි‍්‍රයාමාර්ග පරාජයට කළ නොහැකි බවයි. මේ නිසා ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගත් සමඟ ආණඩුවත් පරාජයට පත් කිරීමේ ජනතා බලයක් අපි ගොඩනගනවා.