නගරාධිපති ඇපයට තබා වෙද්දු වර්ජනයට යති

September 23, 2012   07:42 pm

ගාල්ල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා එම දිස්ත්‍රීක්කයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට (24) වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

කරාපිටිය, බලපිටිය සහ ඇල්පිටිය යන රෝහල් හැර සෙසු රෝහල්වල වෛද්‍යවරුන් මෙලෙස වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට එහි නගරාධිපතිවරයා විසින් බැන තර්ජනය කිරීමට අදාළ සිද්ධියක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරිමට හේතුවී ඇත.

මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් පොලිසිය විසින් නගරාධිපතිවරයා අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කර මෙම වර්ජනය ක්‍රියාත්මක කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

රටේ සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වන නීතිය අදාළ දේශපාලනඥයාට එරෙහිව ද ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොවන්නේ නම් දකුණු පළාතේම රෝහල් පද්ධතියට එය දැඩි බලපෑමක් වනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරයි.