සරසවි ඇදුරන් වෙනුවෙන් විපක්ෂය පාරට

September 23, 2012   03:30 pm

සරසවි ආචාර්යවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම සිවිල් සංවිධාන හා සරසවි ‍සිසුන් හෙට විරෝධතා පාගමන් 2ක් සංවිධානය කර තිබේ.

මේ අතර අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව ප්‍රතිපාදන කප්පාදු කිරීම නිසා සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේම බිඳ වැටිමක් සිදුව ඇති බව පෙරටුගාමි සමාජවාදි පක්ෂය පෙන්වාදෙයි.

එහි දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන්ය.

කාලයක් තිස්සේ ලංකාවේ පාලන බලය හෙබ වූ පක්ෂ විසින් අනුගමනය කරනු ලැබූ නව ලිබරල් ධනවාදී සමාජ-ආර්ථික ප‍්‍රතිපත්තිය මත පදනම්ව සිදු කළ අධ්‍යාපන සංහාරය මේ වන විට බරපතළ අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත. මේ වසරේ විශ්ව විද්‍යාල විවෘතව පැවතියේ මාස දෙකක පමණ කාලයක් වන අතර, විභාග ප‍්‍රතිඵල අක‍්‍රමිකතා, විභාග ප‍්‍රශ්න පත‍්‍ර දෝෂ ආදී හේතු මත පාසල් අධ්‍යාපනයේ ද බරපතළ බිඳ වැටීමක් සිදුව ඇත.

මෙම අර්බුද පැන නැගී ඇත්තේ ප‍්‍රතිපාදන කප්පාදුව, ගුරු හිඟය, පාසල් වැසීම, කාර්මික විද්‍යාල බිඳ දැමීම ආදී කාලයක් තිස්සේ පවතින කප්පාදුවට අමතරවය. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමත්, රජය අධ්‍යාපනයේ වගකීමෙන් ඉවත් වී සමාජ ස්ථර අධ්‍යාපනයෙන් පිටමං කිරීමත් රජයේ නිල ප‍්‍රතිපත්තිය බවට පත්ව ඇත.

වත්මන් අර්බුදයේ සැබෑ මූලය එම ප‍්‍රතිපත්තිය වන අතර රාජපක්ෂ ආණ්ඩුව විසින් එය අලුත් වටයකින් වර්ධනය කර ඇත. අධ්‍යාපන අයිතිය රැක ගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පාසල් ගුරුවරුන්, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තිකයින්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් හා ශිෂ්‍යයින් අරගල බිමට පිවිස ඇත්තේ මෙම පසුබිම තුළය.

සැප්තැම්බර් 24 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගාල්ලේ සිටත් ශිෂ්‍ය ව්‍යාපාරය මහනුවර සිටත් කොළඹට මහා පා ගමන් දෙකක් සංවිධානය කර තිබේ. එම අරගලවලට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහාය ප‍්‍රකාශ කරන අතර එම සහාය පළ කිරීම වෙනුවෙන් ක‍්‍රියාමාර්ග ගණනාවක් සැලසුම් කර තිබේ.අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ මතුවී ඇති අරගලවල යම් සාපේක්ෂ සීමාකාරීත්වයන් පැවතුනත් මෙම අරගල ආරක්ෂා කිරීමටත්, ඒවා පවතින සීමාවන් ඉක්මවා සියලු පුරවැසියන්ට අධ්‍යාපනය සඳහා ඇති සම අයිතිය දිනා ගැනීමේ අරගලයක් දක්වා පුළුල් කිරීමටත් ජනතාව පෙරට පැමිණිය යුතු යැයි අපි විශ්වාස කරමු.

මේ මොහොතේ අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් ගොඩනැගෙන ජනතා අරගල මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් පැරදවිය හැක්කේත්, එම අරගල අධ්‍යාපන අයිතිය පිළිබඳ ක්ෂේත‍්‍රයේ සමාජයට දිගු කාලීන ජයග‍්‍රහණ ගෙන එන මට්ටමට පුළුල් කිරීම වෙනුවට සිය පටු න්‍යාය පත‍්‍රවලට කළමනාකරණය කිරීමට විවිධ බලවේග දරන උත්සාහයන් පැරදවිය හැක්කේත් ජනතාවගේ සක‍්‍රිය හා විචාරශීලි ක‍්‍රියාකාරීත්වයකින් පමණි. ඒ සඳහා පෙරට එන මෙන් සමස්ත ලාංකීය ජනතාවට ආරාධනා කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අධ්‍යාපනයේ අර්බුදයට සැබෑ විසඳුම් සොයා ගැනීම සඳහා සමාජ-ආර්ථික-දේශපාලන ප‍්‍රතිපත්තියේ පරිවර්තනයක් ඉලක්ක කර සිය අරගල පුළුල් කරන මෙන් සටන්කාමී බලවේගයන්ගෙන් ඉල්ලා සිටී.