ඉස්ලාම් දහමට අපහාස වුවා යැයි කියන චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කිරීමට පියවර

September 23, 2012   01:49 pm

ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයට නිර්මාණය කළ බව කියන චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය කිරීම නතර කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඕනෑම ආගමකට අගෞරව වන ආකාරයේ ක්‍රියා තරයේ හෙළාදකින බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අදාළ චිත්‍රපටය තුළින් ඉස්ලාම් ආගමට අපහාසයක් වන බවට වාර්තා පළ වන බැවින් එය මෙරට ප්‍රදර්ශනය කිරීම නතර කළ යුතු බව ඔහු පැවසුවේය.

ඒ පිළිබඳ පුවත්පත් මගින් අදාළ බලධාරින් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට එරෙහිව ලොව පුරා මුස්ලිම් රටවල ජනතාව පසුගිය දිනවල විරෝධතාවල නිරත විය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව ද ඊට විරෝධය පළකර කොළඹ ඇතුළු නගර කිහිපයක උද්ඝෝණවල නිරත වූහ.

මෙම චිත්‍රපටයේ කොටස් අන්තර්ජාලයේ (යූ ටියුබ්) මගින් සිංගප්පූරුව, මලයාසියාව යන රටවල ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමට දැනටමත් එම රටවල් පියවර ගෙන තිබේ.