2254 ගේ ඔස්ට්‍රේලියානු සිහිනය බොඳවෙලා

September 23, 2012   11:26 am

නීති විරෝධි අයුරින් ඔස්ට්‍රේලියාවට පලායමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබු සංඛ්‍යාව මේ වන විට 2254 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවට පලායන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් අඛණ්ඩව සිදුකරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තවත් ශ්‍රී ලාංකිකයින් 81 දෙනෙකු අද (23) අත්අඩංගුවට ගන්නා ලදී.

පේදුරුතුඩුව සහ මීගමුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සදහන් කළේය.

පේදුරුතුඩුව ආශ්‍රිතව මුහුදු සීමාවේ දී පුද්ගලයින් 46 දෙනෙකු රැගත් යාත්‍රාවක් අද අළුයම සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසුවේය.

ඒ අතර දෙමළ ජාතිකයින් 41 දෙනෙකු, මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙකු සහ එක් සිංහල ජාතිකයෙකු සිටින බව සඳහන්ය.

මේ අතර මීගමුවට බටහිර මුහුදු තීරයේදී ද පුද්ගලයින් 35 දෙනෙකු රැගත් යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් මේ වන විට මෝදර වරායට ගෙන එමින් සිටින බව කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.