ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගයට වර්ෂාවෙන් බාධා

September 22, 2012   05:25 pm

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අපි‍්‍රකාව හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

තරගය අද පස්වරු 3.30ට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතව තිබිණ.

මේවන විට වර්ෂාව නතර වී ඇතත් ක‍්‍රීඩා පිටියේ පවතින තෙත සහිත තත්ත්වය හේතුවෙන් තරගය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව එහි සිටින අද දෙරණ මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේය.

කෙසේ වෙතත් විනිසුරු දෙපළ සහ කණ්ඩායම් දෙකේ නායකයින් ක‍්‍රීඩා පිටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තරගය ආරම්භ කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසාන තීරණය ගැනීමට නියමිතය.

මේ වන විටත් ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබේ.