ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

September 21, 2012   10:33 am

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙ‍නාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මූලික වටයේ තරඟයකින් දකුණු අප්‍රිකාව වෙතින් ඊයේ (20) සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්වීම මීට හේතුවයි.

මූලික වටයේ තරඟ කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 3 ක් ඇතුළත් වේ.

ඉන් කණ්ඩායම් දෙක බැගින් සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලබන අතර සිම්බාබ්වේ කණ්ඩායම තරඟ දෙකකින්ම පරාජයවීම හේතුවෙන් ඔවුන්ට මීළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට නොහැකිවිය.

ඊයේ පැවති තරඟයේ දී සිම්බාබ්වේ කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 10 කින් පරාජයට පත්විණි.

සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 93 ක් රැස් කළේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාණු කණ්ඩායම කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසු කිරීමට සමත් විය.

මේ අතර අද දිනයේ දී බංග්ලාදේශය සහ නවසීලන්තය අතර තරඟය පල්ලෙකැලේ දී ආරම්භ වන අතර ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර තරඟය කොළඹ දී පැවැත්වේ.