2012 ඉන්ෆොටෙල් සන්නිවේදන ප්‍රදර්ශනය හා තොරතුරු තාක්‍ෂණ සමුළුව

September 18, 2012   01:04 pm

2012 ඉන්ෆොටෙල් ජාතික තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වෙන ASOCIC 2012 කලාපීය තොරතුරු තාක්‍ෂණ සමුළුව සදහා ජාතික අනුග්‍රහකත්වය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් ලබා දී තිබේ.

මෙම ජාතික ප්‍රදර්ශනය සහ කලාපීය සමුළුව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි. ප්‍රදර්ශනය ලබන නොවැම්බර් මස 16 වනදා සිට 18 දා දක්වා කොළඹ බණ්ඩානායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. සමුළුව නොවැම්බර් මස 15 වනදා සිට 17දා දක්වා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.

මෘදුකාංග, දෘඪාංග, පද්ධති සංයෝජනය, කාර්යාල ස්වයංකරණය, විදුලි සංදේශ උපාංග, ටෙලිකොම් සේවාවන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු වැඩසටහන්, විද්‍යුත් මාධ්‍යය, පරිගණක ක්‍රීඩා, වෛද්‍ය ඉලෙක්ට්‍රොනික උපාංග, ඉ - පුරවැසි සේවාවන් සහ ඉ - ශ්‍රී ලංකා කාණ්ඩයන්ගෙන් යුත් ප්‍රදර්ශන කුටි 250 කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතය. තවද ඉ - සෞඛ්‍ය සේවාවන් සහ කෘෂිකර්මාන්තයෙහි තොරතුරු තාක්ෂණ භාවිතය යන නව්‍ය කාණ්ඩයන් දෙකක් ද මෙවර ප්‍රදර්ශනයට ඇතුළත් වේ.

දේශීය නියෝජිතයන් මෙන්ම රටවල් 29ක විදේශීය නියෝජිතයන් 250 ක පමණ පිරිසක් ඇතුළුව 500 කට අධික පිරිසක් මෙවර "සීමා මායිමෙන් එපිට තොරතුරු තාක්ෂණය" යන තේමාවෙන් යුතු ASOCIO 2012 කලාපීය තොරතුරු තාක්ෂණ සමුළුවට සහභාගී වීමට නියමිතය. ඔවුනොවුන් අතර දැනුම, භාවිතාවන්, අදහස් හුවමාරු කර ගැනීම සදහා ව්‍යාපාරික සැසිවාරයන් සංවිධානය කර ඇත.

මේ පිළිබදව දැනුම්දීම සදහා කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා.

“තොරතුරු තාක්‍ෂණයට හිතකර රටක් ලෙස අප ලෝක සිතියම තුළ විද්‍යාමාන වී තිබෙනවා. ඒ වගේම සිවිල් සමාජය පවා දැන් තොරතුරු තාක්‍ෂණයෙන් සන්නද්ධ වී ඇති නිසා නව අවස්ථා ගණනාවක් අපේ සමාජයේ බොහෝ අයට දැන් විවෘත වී තිබෙනවා. ඒ තුළින් ‍තම ජීවන තත්ත්වය යහපත් කර ගැනීමට මේ සමාජයේ පුද්ගලයින්ට අවස්ථාව ලැබිලා තිබෙනවා.රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය හා සිවිල් සමාජය මෙසේ ‍ තොරතුරු තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීම අපට රටක් ලෙස කලාපයේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට බෙහෙවින් උපකාර වනවා.ඒ නිසා ‍ තොරතුරු තාක්‍ෂණයෙන් අප ලබාගත් ජයග්‍රහණ අඛන්ඩව ඉදිරියට ගෙන යෑම අපේ අවසන් ඉලක්කය සපුරා ගැනීමට අපට අත්‍යාවශ්‍යයම කොන්දේසියක් වෙනවා.මේ සඳහා ඉතා උනන්දුවකින් කටයුතු කිරීමත්, මෙවැනි හවුල්කාරි සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමත් අත්‍යාවශ්‍යය දෙයක්. ජාතික ප්‍රමුඛතා හඳුනාගනිමින් අපේ රටේ සියලුම තොරතුරු තාක්‍ෂණ සංවිධාන මෙවැනි කටයුතු සඳහා ඉදිරිපත් වීම ඉතා අගය කළ යුතුයි.”