20/20 පුහුණු තරගයෙන් ලංකාව ඉන්දියාවට පරදී

September 15, 2012   05:17 pm

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර පුහුණු තරගයක් ලෙස අද (15) පැවැති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජය අත්විය.

කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලබා ගන්නා ලදී.

එහිදී ඉන්දීය ‍ඉනිම වෙනුවෙන් නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු ‍55ක් ලබා ගත් අතර රෝහිත් ශර්මා ලකුණු 37ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුලු 2ක් බිඳ හෙලන ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 120ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර ලකුණු 32ක්, ජීවන් මෙන්ඩිස් ලකුණු 26ක්, ලහිරු තිරිමාන්න ලකුණු 24ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16ක්, තිසර පෙරේරා ලකුණු 10ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන් 6 දෙනාට ලකුණු 5 සීමාවටවත් පැමිණිය නොහැකි විය.

නායක මහේල ජයවර්ධන, නුවන් කුලසේකර හා ලසිත් මාලිංග ලකුණු නොලබාම දැවී ගිය අතර තිලකරත්න දිල්ෂාන් 1ක් ලකුණකටත්, දිල්ෂාන් මුණවීර ලකුණු 3ටත් දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුහ.

පන්දුවෙන් දස්කම් දැක්වු ඉර්ෆාන් පතන් කඩුලු 5ක් හා ලක්ෂ්මිපති බලාජි කඩුලු 3ක් බිඳ දැමුහ.