ව්‍යාපාරික ප‍්‍රජාව විසින් HIV හා AIDS පිළිබඳ දැනුවත් කිරීම පුළුල් කරයි

September 11, 2012   11:17 am

ඡායා රූ LBCH සංවිධානයේ වත්මන් සභාපති හා ෂෙවරෝන් ශී‍්‍ර ලංකා හි ප‍්‍රධාන විධායක නිලධාරී හා කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කිෂූ ගෝමස් මහතා.

HIV හා AIDS පිළිබඳ ලංකා ව්‍යාපාර සන්ධානයේ (LBCH) වෙබ් අඩවිය වන www.lbchconnect.com එළිදක්වයි. මේ හරහා තවමත් නිසි අවධානයක් යොමු නොකෙරුණු HIV හා AIDS ව්‍යාප්තිය පාලනය කිරීමට විශේෂ අවධානයක් ඇති කරයි. වෙබ් අඩවිය විවෘත කිරීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ශී‍්‍ර ලංකා හා මාලදිවයින සඳහා වන අධ්‍යක්ෂ ඩොන්ග්ලීන් ලී මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විය.

LBCH සංවිධානයේ වත්මන් සභාපති හා ෂෙවරෝන් ශී‍්‍ර ලංකා හි ප‍්‍රධාන විධායක නිලධාරී හා කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කිෂූ ගෝමස් මහතා ප‍්‍රකාශ කළේ, මෙම වෙබ් අඩවිය කාලීන අවශ්‍යතාවයක් බවත්, මේ හරහා මෙරට සංචාරක, අපනයන, වෙළෙඳ හා නිෂ්පාදන ක්ෂේත‍්‍රවල සේවක පිරිස වෙත මෙම පණිවුඩය පහසුවෙන් ගෙන යාමට හැකි බවත්ය. රටේ ආර්ථික වර්ධනයට සෘජුවම සම්බන්ධ ජනතාව අතරට HIV හා AIDS වසංගතය ගැන වැඩි සැලකිල්ලක් යොමු කිරීමට LBCH සංවිධානය කටයුතු කරන බව කිෂූ ගෝමස් මහතා පෙන්වා දුන්නේය.

Bates Strategic Alliance ප‍්‍රචාරක ආයතනය විසින් නිර්මාණය කරනු ලැබූ මේ වසරේ LBCH ප‍්‍රචාරක වැඩසටහනට අනුව ‘‘ඔබ තවත් කෙනෙකුට දෙන්න HIV නොවේ, ඒ ගැන දැනුවත් බව’’ නැමති පණිවුඩය සහිත රතු කොට්ටය LBCH සංවිධානයෙන් 60කට අධික ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ සමාගම් හා ආයතන වෙත යැවීමේන් දනුවත් කිරීමේ කටයුතු ඇරඹේ.

මේ වනවිට මෙම රතු කොට්ටය LBCH සංවිධානයේ සාමාජික සංවිධානය වන Chevron, Standard Charted බැංකුව, John Keells, DFCC බැංකුව, හැටන් නැෂනල් බැංකුව, Etisalat, Brandix, Dialog, EFC, AMCHAM සහ Jetwing වෙත යවා ඇති අතර සෑම සමාගමක් හා ආයතනයක්ම HIV හා AIDS පිළිබඳව සිය කාර්ය මණ්ඩලය හා සේවකයින් දැනුවත් කිරීමට කැපවේ. තම සේවා ස්ථානයට සම්බන්ධ සමාජ ප‍්‍රජාවද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කෙරෙයි.

HIV හා AIDS පිළිබඳ වසංගතය පිළිබඳව ජනතාව නිසිලෙස දැනුවත් නොකෙරුණුහොත් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ඵලදායිතාවයට සෘජුවම මෙය බලපාන තත්ත්වයකට පත්වී තිබේ. දැනට කර ඇති අනාවැකි අනුව වසර 2015 වන විට මිලියන 74ක පමණ වැඩ කරන ජනතාවක් මෙම වංසගතයට ගොදුරු වීමට ඉඩ ඇති බවට තොරතුරු හෙළිවී තිබේ. නමුත් නිසි ලෙස දැනුවත් කිරීම මගින් ඉන් තුනෙන් දෙකකට HIV ආසාදනය වළක්වාගත හැකිවීම විශේෂත්වයකි. ඒ අනුව මෙම දැනුවත් කිරීම නිසි අයුරින් සිදුකිරීමට LBCH සංවිධානය කැපවී සිටියි.

HIV ආසාදනය වැලැක්වීම පිළිබඳව සේවා ස්ථාන දැනුවත් කිරීමේ අරමුණින් 2004 වසරේදී LBCH සංවිධානය ආරම්භ කළ අතර කිසිදු අය කිරීමකින් තොරව මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වේ. සෞඛ්‍ය සම්පන්න සේවක පිරිසක් ඇති කිරීම සඳහා මෙවැනි සංවේදි ප‍්‍රශ්නවලට වගකීම් සහිතව කටයුතු කිරීම LBCH සංවිධානයේ ප‍්‍රධාන අරමුණ වේ. මෙහිදි LBCH සංවිධානය සිය සාමාජික ආයතන හා සමාගම් සමග ඉතා සමීපව කටයුතු කරන අතර වෘත්තිය පුහුණුකරුවන් යොදාගෙන දැනුවත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම, HIV හා AIDS ප‍්‍රතිපත්ති වැඩබිමේ ඇති කිරීම හා මෙරට HIV මර්ධනය කිරීමේ සේවා ආයතන සමග ද කටයුතු කරයි. රජය විසින් අනුමත කර පාර්ලීමේන්තුවේදී සම්මත වූ HIV ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමට ද LBCH සංවිධානය සිය සාමාජික සමාගම්වලට උපකාර කරයි.

මෙම වසංගතය ගොදුරුවීමට බොහෝ දුරට ඉඩ ඇති කණ්ඩායම් හදුනාගෙන ඔවුන්ව ඉලක්ක කර දැනුවත් කිරීමේ වැඩසටහන් අදාළ ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක කිරීමට ද LBCH සංවිධානය සිය සාමාජික සමාගම් හා ආයතන උනන්දු කරවයි.