පාසල් අධ්‍යාපනයත් පෞද්ගලීකරණයට?

August 31, 2012   02:08 pm

පාසල් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා ද පනතක් ගෙන ඒමේ සුදානමක් ඇතැයි යන්න සැකයක් මතුව ඇති බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය පවසයි.

පසුගියදා රැස්වු කැබිනට් මණ්ඩලය තීන්දු කිහිපයකට එළඹ ඇති නමුත් සරසවි ආචාර්යවරුන්ගේ ගැටලුව සඳහා විසඳුමකට එළඹ නැතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජය‍ගොඩ මහතා සඳහන් කරයි.

කොළඹදී අද (31) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසු අතර එහිදී ජයගොඩ මහතා මෙසේ ද පවසන ලදී.

2011 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් ලබන 3 වැනිදා අධිකරණයට දැනුම් දෙනවා කියලා ප්‍රතිපාදන කොමිසන් සභාව කියලා තිඛෙනවා. 2011 අවුරුද්දේ අගෝස්තු මාසයේ විභාගයට පෙනී සිටි ඔවුන්ගේ ප්‍රතිඵල 2012 අගෝස්තු අවසන් වන තුරුත් ලබාදීමට අසමත් වෙලා තිඛෙනවා. ඒ වගේම 2012 උසස් පෙළ විභාගයේත් ගැටලූ ගොඩක් තිඛෙනවා. විෂය නිර්දේශ දෙකකට අයත් ළමුන් විභාගයට පෙනී සිටියා. නමුත් ඔවුන් බඳවා ගන්නා ආකාරය තවමත් ආණ්ඩුව කියලා නැහැ. ඒ නිසා මෙවරත් ගිය අවුරුද්දේ ඇති වූ ගැටලූවම ඇති වීමේ අවදානමක් බරපතළ ලෙස තිඛෙනවා.

ඒ වගේම පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ගැටලූ ගණනාවක් මතු වී තිඛෙනවා. තුන්වැනි වාරයට අදාළ විෂය කරුණුවලිනුත් ප්‍රශ්න ඉදිරිපත් කර තිබුණා. පසුගිය 29 වැනිදා රැස් වුණ කැබිනට් මණ්ඩලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනුවෙන් යෝජනා 8ක් සම්මත කර ගෙන තිඛෙනවා. නමුත් ආචාර්යරවරුන්ගේ ඉල්ලීම් ගැන කිසිවක් නැහැ. ඔවුන්ගේ මූලිකම ඉල්ලීමක් තමයි 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න කියන එක. ඒකට අදාළව ආණ්ඩුවෙන් දෙන උත්තරය තමයි ආණ්ඩුවට 6%ක් වෙන් කරන්න බැහැ, නමුත් දෙමාපියනුත් එකතු වුණාම මුළු සමාජයම 6%කට වඩා වෙන් කරනවා කියලා. දැන් ජනතාවට අධ්‍යාපනය වෙනුවෙන් තුන්පාරක් ගෙවන්න වෙලා. පළමු පාර බදු ලෙස ගෙවනවා. දෙවන පාර, පහසුකම් ගාස්තු, සුබසාධන ගාස්තු, මුරකරුගේ වැටුප්, උත්සව සඳහා කියමින් ඔය විදියට සතියකට දෙකකට වරක් පාසලට ගෙවන්න වෙලා තිඛෙනවා. තුන්වෙනි පාර, පාසල් අධ්‍යාපනය දුර්වල නිසා දරුවන් ටියුෂන් යවන්න වෙලා තිඛෙනවා. ඒ නිසා අධ්‍යාපනය වෙනුවෙන් තුන්පාරක් ගෙවන්න වෙලා. එහෙම බලද්දී, එස්.බීගේ කතාව හරි. නමුත් අපට වඩා ඉතාම දුප්පත් රටක් වුණු ඉතියෝපියාවත් දළ ජාතික නිෂ්පාදනයෙන් 4%ක් පමණ වෙන් කරනවා.

ආචාර්යවරුන්ගේ ඊළඟ ඉල්ලීම තමයි ඔවුන්ගේ වැටුප් තල ඉහළ දමන්න කියලා. ආචාර්යවරුන්ට සමාන සුදුසුකම් සහිත අයට පෞද්ගලික අංශයේ ඉතා විශාල වැටුප් ගෙවනවා. ඒ වගේම ඒ සුදුසුකම් තිඛෙන රජයේම වෙනත් රැකියා කරන අයට ආචාර්යවරුන්ට ලැඛෙන වැටුප වගේ තුන් හතර ගුණයක වැටුපක් ගෙවනවා. ඒ නිසා ආචාර්යවරුන් විදේශගත වීමේ හෝ වෙනත් රැකියාවලට යාමේ අවදානමක් තිඛෙනවා. අද වෙන කොට ලංකාවේ සරසවිවල බරපතළ ආචාර්ය, මහාචාර්ය හිඟයක් තිඛෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නය කිසියම් ප්‍රජාවකගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් නොවෙයි. රටේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධ ප්‍රශ්නයක්. වැටුප් අඩු වීම නිසා ඉතා දක්ෂ අය වෙනත් රැකියාවලට යනවා. ඊළඟට දේශපාලන අතපෙවීම් නොකරන්න කියන ඉල්ලීම. අද වෙන කොට උපකුලපතිවරයා, පාලක සභාව, සනාථන සභාව පත් කරන්නේ ජනාධිපතිවරයා සහ ඇමතිවරයා. ඇතැම් අවස්ථා තිඛෙනවා, ජනාධිපතිරවයාට අවශ්‍ය නම ඉදිරිපත්වන තුරු උපකුලපතිවරයා පත් නොකර අවුරුද්දක් පමණ පමා කළ අවස්ථා. මාධ්‍යවේදීන්ට ලංකාවේ ඕනෑම තැනකට යන්න පුළුවන්. නමුත් විශ්වවිද්‍යාලයකට යන්න බැහැ. මේ ඉල්ලීම්වලට අදාළව මොනවත් නොකියා, කැබිනට් මණ්ඩලය වෙන වෙන කතා කියනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශේෂ කොටසක් ලෙස සලකනවා කියලා තීරණයක් අරන් තිඛෙනවා. ඒක කැබිනට් මණ්ඩලය ගන්න ඕන තීරණයක් නොවෙයි. ජනතාව එහෙම සලකනවා. ඒකට කැබිනට් තීරණ අවශ්‍ය නැහැ. ඊළඟට කියනවා ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරන්න යනවා කියලා. ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරන්න නම්, ඉස්සෙල්ලාම උගන්වන්න පටන් ගන්න ඕන. විභාග නිසි ලෙස පවත්වන්න ඕන. ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න ඕන. ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරනවා කියමින් මේ කරන ප්‍රතිපාදන කප්පාදුව නිසා ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ පවා අහිමි වෙමින් තිඛෙනවා.

ඊළඟට තීරණය කරලා තිඛෙනවා, අධ්‍යාපනයට අදාළ පනත් ගෙන එද්දී ආචාර්යවරුන් එක්ක සාකච්ඡා කරනවා කියලා. එහෙම කරනවා නම් ඒක ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වන්න දැන් හොඳ අවස්ථාවක් තිඛෙනවා. ඒ තමයි, තවමත් කාටවත් පෙන්නලා නැති අලූත් විශ්වවිද්‍යාල පනත. ඒ ගැන සාකච්ඡා කරන්න. පෞද්ගලික සරසවි ඇති කරන්න මේ පනත ගෙන එනවා කියලා සිසුන් චෝදනා කරන්නේ. ඒ පනත ක්‍රියාත්මක නොකර තිඛෙන්නේ, සිසුන්ගේ විරෝධතා නිසා.

ඊළඟට පාසල් අධ්‍යාපනයට අදාළ පනතක් ගෙන එන්න නියමිතයි. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා ඒ පනත ගෙන එනවා කියලා සැකයක් තිඛෙනවා. ඒ පනත ගැන ආචාර්යවරුන් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්.

කැබිනට් මණ්ඩලය ගෙන තිඛෙන ඊළඟ තීරණය තමයි, 1978 අංක 16 දරන පනතට අනුව සරසවිවල ස්වාධීනත්වය ආරක්ෂා කරනවා කියලා. ඒ පනත මගින් තමයි, විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය අහිමි කරලා තිඛෙන්නේ. ඒ පනත සම්මත කිරීමට පෙර සාපේක්ෂක ස්වාධීනත්වයක් තිබුණා. ඒ පනත මගින් තමයි හැම එකම ජනාධිපතිවරයාගෙන්, ඇමතිවරයාගෙන් අහන්න අවශ්‍ය නීති සම්මත කරලා තිඛෙන්නේ. ඒ වගේම තවත් චක්‍ර ලේඛන කිහිපයක්ම තිඛෙනවා, ස්වාධීනත්වය අහිමි කළ. සරසවිවල ස්වාධීනත්වය ආරක්ෂා කරනවා නම් කරන්න තිබුණේ 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඒ පනත් සහ චක්‍ර ලේඛන අහෝසි කිරීමට තීන්දු කිරීම. මීට පෙර ලංකාවේ ඉතා සාර්ථක කාර්මික විද්‍යාල පද්ධතියක් තිබුණා. දැන් ඒ සියල්ල විනාශ කරලා. දැන් කියනවා කාර්මික විද්‍යාල නංවනවා කියලා. මේ කැබිනට් මණ්ඩලයම තමයි තීරණය කළේ, කුණ්ඩසාලේ කෘෂිකාර්මික විද්‍යාලය ඩොසර් කරලා එතන ගුවන් පථයක් හදන්න. මොකක්ද මේ කැබිනට් මණ්ඩලය? කොහොමද මේ කැබිනට් මණ්ඩලයේ තීරණ පිළිගන්නේ? එහෙම නම් කලින් ගත්තු තීරණය වැරදියි කියන්නවත් නිහතමානී වෙන්න ඕන. නමුත් දැන් ඒක ක්‍රියාත්මක නොකර තිඛෙන්නේ සමාජයෙන් එල්ල වෙලා තිඛෙන විරෝධතාවය නිසා.ඊළඟට කියනවා සල්ලි වෙන් කරනවා කියලා. නමුත් අපි දන්නවා, මේවා බොරු කතා බව.

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ කරන්න තීරණය කර තිඛෙනවා. අපි දන්නවා, මොකක්ද කරන්න යන ප්‍රතිසංස්කරණය කියලා. බන්දුල ගුණවර්ධනයි, එස්බී දිසානායකයි කියලා තිඛෙනවා, කරන්න යන ප්‍රතිසංස්කරණ ගැන. තිඛෙන අධ්‍යාපනය ආර්ථීකයට ගැලපෙන්නේ නැහැ, ඒ නිසා ආර්ථීකයට ගැලපෙන්න අධ්‍යාපනය වෙනස් කරනවා කියලා. දුර්වල ආර්ථීකයක් තියාගෙන ඒකට ගැලපෙන්න මිනිසුන්ගේ හැකියාවන් කප්පාදු කරන්න යනවා. මේ ආර්ථීකයේ මොනවාද කරන්නේ. ගිනිපෙට්ටියයි මිනී පෙට්ටියයි ඇරෙන්න අනෙක් ඔක්කොම පිට රටින් ගේනවා. මේ ආර්ථීකයට ඉංජිනේරුවන් අවශ්‍ය නැහැ කියලා ඉංජිනේරු පීඨවලට වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු කරනවා. උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය බාල කිරීම නිසා එක් වරක් පේරාදෙණිය සරසවිය තීරණය කළා, මේ විදියට නම් යන්නේ මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව නතර කරන්න වෙනවා කියලා. මේ ආර්ථීකයට අවශ්‍ය වෙන්නේ සංචාරකයින් ප්‍රවාහනය කරන්න, ඔවුන්ට හෝටල් පහසුකම් සලසන්නයි, ගණිකාවනුයි විතරයි. වෙන කිසිවක් අවශ්‍ය නැහැ.

අපි මේ ආණ්ඩුවට බල කරන්නේ, ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සාධාරණයි. ඒවා වහාම ඉටු කරනු, අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කරනු, ඔවුන්ගේ වැටුප් වහාම වැඩි කරනු, සරසවිවල ස්වාධීනත්වයට හානිකර චක්‍ර ලේඛන අහෝසි කරනු, කියලයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි කියන්නේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශේෂ පුද්ගලයින් ලෙස සැලකිය යුතු නැහැ. ඔවුන් රාජ්‍ය සේවකයින් ලෙස සලකන්න. අඩුම තරමින් රාජ්‍ය සේවකයින්ට ලබාදෙන විවිධ ණය පහසුකම් ඔවුන්ටත් ලබා දෙන්න. රාජ්‍ය සේවකයින්ට ලබාදෙන විශ්‍රාම වැටුප් අයිතිය ඔවුන්ට ලබාදෙන්න. රාජ්‍ය සේවකයින්ට තිඛෙන තමන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී ලකුණු ලබා දෙනවා. ඒ අයිතිය ඔවුන්ටත් ලබා දෙන්න.