වැඩබැලීමට තැපැල්පති-ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කීර්ති නාමය පළුදු වී නෑ

May 24, 2012   06:11 pm

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස වැඩබැලීමට තැපැල්පතිවරයා පත්කර ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම්,ආචාර්ය පි.බී ජයසුන්දර මහතා පවසයි.

සිදුවීයයි කියනු ලබන අයථා ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත්,ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් කාරියවසම් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්විම එකී පරීක්ෂණ කටයුතු වලට සහය දැක්වීමක් ලෙස සැලකිය හැකි බවත් හෙතෙම සඳහන් කරයි.

2011 වසර සඳහා වන මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කරමින් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද(24)පැවති මාධ්‍ය හමුවට එක්වී එහිදී මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා මේ බව කියා සිටියේය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කීර්ති නාමයට සිදුවූ සිදුවීමෙන් කිසිදු කැළලක් ඇති වී නොමැති බවත්,බැංකුවේ වැඩිම මුදලක් ආයෝජනය කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ බවත්,තැන්පතුවලට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

පවත්නා නිසි ක්‍රියාපටිපාටියට අනුව පමණක් ක්‍රියා කරන ලෙස තමා විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකු පරිපාලනයට උපදෙස් ලබා දී ඇති බවත්,සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ නිසි විමර්ශනයක් ස්වාධීනව සිදුකෙරෙන බවත් ඔහු කියා සිටි‍යේය.

තනි තනි වශයෙන් විදේශයන්ගෙන් ආනයනය කර ඇති වාහන සඳහා පියවරෙන් පියවර සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් පළ කරන ලද වාර්තා අසත්‍ය බවද ජයසුන්දර මහතා එහිදී පෙන්වා දුන්නේය.

තනි තනි වශයෙන් වාහන ගෙන්වා ඇති පුද්ගලයන් පුද්ගලයන්ගෙන් අභියාචනා 100-200 ක් පමණ අමාත්‍යංශය වෙත ලැබී ඇති බවද එකී අභියාචනා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ඉදිරිපත් කර ඇති බවද,ඒවාට සහනයක් ලබාදෙනු ඇති බවද ඇතැම් පුවත්පත් හා රාජ්‍ය හිතෛශි වෙබ් අඩවි විසින් වාර්තා කර තිබිණි.

එහෙත් අද පැවති මාධ්‍ය හමුවේදි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ ප්‍රතිපත්තිමය වශයෙන් ගනු ලැබූ තීන්දුවක් වෙනස් කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි.