ජනපතිගෙන් කොරියානු ආයෝජකයින්ට ආරාධනාවක්

April 24, 2012   06:49 pm

ජව සම්පන්න ආයෝජන ගමනාන්තයක් සැපයීම අතින් ශ්‍රී ලංකාව ලොව සෙසු රටවල් අතර පෙරමුණේ සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෘෂිකර්මාන්තය , කර්මාන්ත හා සේවා ඇතුළු මෙරට ආර්ථික අංශයන් හොඳින් ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කරනු ලැබුවේ අද පෙරවරුවේ ප්‍රධාන පෙළේ කොරියානු සමාගම් 4ක නියෝජිතයින් අමතමින් සෝල් නුවර , හයටි හෝටලයේ දී පැවති උත්සවයක දීය.

මෙම පසුබිම තුළ සිය විදෙස් ආයෝජකයන්ට ආරක්ෂාකාරී හා ස්ථිර ආයෝජන අවස්ථාවන් සැපයීමට ශ්‍රී ලංකාව මනාව සූදානම් බවට බොහෝ ආයෝජකයන් වටහාගෙන සිටින බව ද මෙහි දී ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ඔවුන් මෙරට බොහෝ සමාගම් සමඟ අන්‍යොන්‍ය වශයෙන් ඵලදායී නව සබඳතා ඇති කර ගැනීමට ඉතා සමීපව කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙහි දී පෙන්වාදුන්නේය.

යටිතල පහසුකම් , වරාය හා අදාළ ක්‍රියාකාරකම් , ගුවන් සේවා , දැනුම මත පදනම් වූ කර්මාන්ත , සංචාරක හා විනෝදාස්වාද කටයුතු සහ වාණිජ සේවා යන අංශ වලට ශ්‍රී ලංකාව ආයෝජකයන් බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා එහි දී පැවසුවේය.

මෙම ආයෝජන තීරණයන්හී දී ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය ව්‍යාපෘතින් තෝරා ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට සහය වනු ඇති බව ද කියා සිටි ජනාධිපතිවරයා මෙම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙසට කොරියානු ආයෝජකයන්ට ආරාධනාවක් ද කළේය.

මේ අතර දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 3කට අත්සන් තබා තිබේ.

දකුණු කොරියානු ජනාධිපති නිල නිවසේ දී දෙරටේ රාජ්‍ය නායකයන් ඉදිරියේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරීස් මහතා සහ කොරියානු රාජ්‍ය පාලන හා ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය මෙයින්ග් හියුමග්කිම් යන මහත්වරුන් මෙම ගිවිසුම් සඳහා අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහි දී තොරතුරු තාක්ෂණ හුවමාරුව සම්බන්ධයෙන් , ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් සහ විදුලි බල සහයෝගීතාව සම්බන්ධයෙන් මෙම ගිවිසුම් තුන අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.