ඕස්ට්‍රේලියානු රජය මැදහත් නොවුණානම් මාව මරනවා

April 11, 2012   12:20 pm

ඕස්ට්‍රේලියානු රජය මැදිහත් නොවන්නට තමා ඝාතනයට ලක්වනු ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉහළපෙළ නායකයෙකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ මහතා පවසයි.

ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ බවට විදේශ කටයුතු අමාත්‍යංශ විසින් නිවේදනය කරනු ලැබූ ඔහු යළි ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු එරට මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් මේ බව කියා සිටින වග The Sydney Morning Herald උපුටා දක්වයි.

තමා පැහැරගනු ලැබුවේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් බවත්,එසේ පැහැරගැනීමෙන් පසුව අත්වලට මාංචු දමා,දෑස් බැඳ දින 3 ක් තිස්සේ මානසිකව හා ලිංගික වධ බන්ධනයට ලක් කළ බව ඔහු එරට මාධ්‍යයට පවසා ඇත.

ඕස්ට්‍රේලියාවේ උතුරු සිඩ්නි නගරයේ පිහිටි සිය නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් කුමාර් පවසා ඇත්තේ ඕස්ට්‍රේලියානු රජය මැදිහත් නොවන්නට තම සහෝදරයා මෙන්ම සිය ගණනක් දේශපාලන ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් මරාදැමූ අන්දමට තමාවද මරාදමනු නියත බවයි.

තමා පැහැරගනු ලැබුවේ ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් බව තමාට සහතික බව කුමාර් විසින් අවධාරණය කර ඇතත් ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා එරට Fairfax මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා බලධාරීන් ඔහු කිසි විටෙකත් අත්අඩංගුවට නොගත් බවයි.

මෙවැනි සිදුවීම් තුළින් ශ්‍රී ලංකාවේ වත්මන් රජය මානව හිමිකම් උල්ලංඝණය කරන බවට ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු යන බව ද කුමාර් ගුණත්නම් The Sydney Morning Herald පුවත් සේවයට වැඩිදුරටත් පවසා තිබේ.