රෝගීන් වෙනුවෙන් නව පරිගණක මෘදුකාංගයක්

March 26, 2012   03:46 pm

රෝගී ප්‍රතිකාර සේවාවන් සහ ‍රෝහල් පරිපාලන කටයුතු වඩාත් කාර්යක්‍ෂම සහ විධිමත් කිරීම සදහා යොදා ගත හැකි නව පරිගණක මෘදුකාංගයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන තිබේ.

HHIMS හෙවත් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරණ පද්ධතිය වශයෙන් මෙම මෘදුකාංගය නම් කර තිබෙන අතර මෙය නිදහස් හා විවෘත මෘදුකාංගයක් වීම විශේෂත්වයකි.

මෙම මෘදුකාංගය භාවිත කිරීමෙන් කඩදාසි රහිතව වෛද්‍ය වාර්තා තබා ගත හැකි අතර අදාළ පැරණි වෛද්‍ය වාර්තා ඉතා පහසුවෙන් පරිශීලනය කිරීමට හැකිවේ.

නව රෝගීන් ලියාපදිංචිය හා ඔවුන්ට විශේෂිත අංකයක් ලබාදීම මෙමගින් සිදුකෙරෙයි.එහිදී එක් රෝගියෙකු සිය ජීවිත කාලයටම ලියාපදිංචි කළ යුත්තේ එක් වරක් වීම විශේෂත්වයකි.

බෝවන රෝග පිළිබද නිවේදන‍ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත විද්‍යුත් තැපැල් මගින් යැවීම, විද්‍යුත් ක්‍රමයට රෝගී පරීක්‍ෂණ වාර්තා ඇනවුම් කිරීම හා ලබා ගැනීම,‍ඖෂධ තොග පාලනය ස්වයංක්‍රීයව සිදුකිරීම යන පහසුකම්ද මෙම මෘදුකාංගයේ ඇති තවත් පහසුකම් කිහිපයකි.

කරවනැල්ල, තඹුත්තේගම , උදුගොඩ කිතුල්ගොඩ සහ දැරණියගල යන රජයේ රෝහල් මෙම පරිගණක මෘදුකාංගය ‍සිය කටයුතු සදහා දැනටමත් යොදා ගෙන තිබෙන බවද නියෝජිතායතනය පවසයි. www.govforge.icta.lk./gf වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩිවිස්තර දැනගත හැකි වේ.