රොෂේන් චානකට ලක්ෂ 10 යි ඇන්ටනීට ලක්ෂ 5 යි-ආණ්ඩුවෙන් ජීවිතවල වටිනාකම හෑල්ලු කරමින් ඉන්නවා

February 22, 2012   12:32 pm

පසුගිය 17 වන දින පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයට පොලීසිය විසින් ප්‍රහාර එල්ලකිරීම හෙලාදකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

තමන්ට හිමි බලය ජනතාවට එරෙහිව ක්‍රියාත්මක නොකරන ලෙස තමන් හමුදාවෙන් සහ පොලීසියෙන් ඉල්ලා සිටින බව එ.ජා.ප මහ ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළයාම,විදුලි බිල ඉහළයාම ආදී වශයෙන් ජනතාවට දරාගන්න බැරිතරමේ ජීවන වියදමක් ආණ්ඩුව විසින් පටවා ඇති අවස්ථාවක ඊට එරෙහිව විරෝධය ප්‍රකාශ කිරීම සාධාරණ බව හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ජීවන වියදම ඉහළයාම ආරක්ෂක අංශවල මෙන්ම පොලීසියේ සේවය කරන උදවියටද එක හා සමානව දැනෙන බවත්,එසේ වුවත් ඊට එරෙහිව විරෝධය පාන්නට ඔවුන්ට හැකියාවක් නොමැති බැවින් සාමාන්‍ය ජනතාව පාරට බසින අවස්ථාවේදී එකී අරගල කරනු ලබන්නේ තමන් වෙනුවෙන්ද බව පොලීසිය විසින් කල්පනා කළ යුතු බව මහ ලේකම්වරයා අවධාරණය කළේය.

කටුනායක පුද්ගලික අංශයේ සේවක විරෝධතාවයකදී මිය ගිය රොෂේන් චානක වෙනුවෙන් ආණ්ඩුවෙන් ලක්ෂ 10 ක වන්දියක් ප්‍රදානය කළා වුවත් පසුගියදා හලාවත පැවති විරෝධතාවේදී මිය ගිය ඇන්ටනී ප්‍රනාන්දු ධීවර කාර්මිකයා වෙනුවෙන් ප්‍රදානය කරනු ලැබුවේ ලක්ෂ 5 ක මුදලක් පමණක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ අයුරින් අරගලයෙන් අරගලයට ආණ්ඩුවෙන් මර්දනය දියත් කරද්දී මරණයෙන් මරණයට ගෙවන වන්දි මුදල් ක්‍රමයෙන් අඩුකරමින් සිටින බවත්,සේවක අයිතීන් වෙනුවෙන් විරෝධය පාන්නට පාරට බසින ජනතාවගේ ජීවිතවල වටිනාකම හෑල්ලුවට ලක්කරන බවත් ඔහු කියා සිටියි.

රෝෂේන් චානකගේ මරණයේ වගකීම බාරගෙන හිටපු පොලිස්පතිවරයා ඉල්ලා අස්වූ පසු ඔහුට බ්‍රසීලයේ තානාපතිධූරය ලබාදුන් බවත්,ඇන්ටනී ප්‍රනාන්දුගේ මරණය පිළිබඳ සිදුකරනු ලබන පොලිස් පරීක්ෂණ වලටද එවැනි ඉරණමක් අත්කර නොදී ඒවා සාධාරණ හා අපක්ෂපාතී ලෙස පැවැත්විය යුතු බවත් මහ ලේකම්වරයා සඳහන් කරයි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මේවන විට කුණු කූඩයට දමා ඇති බවත් ,ජාත්‍යන්තරයෙන් මේ තරම් බලපෑම් එල්ලවන්නේ ඒ නිසා බවත් අත්තනායක මහතා අවධාරණය කළේය.