රක්ෂණ නියෝජිතයාගෙන් රු.15,000 ක් අත යටින් ඉල්ලලා-01 දක්වා රිමාන්ඩ්

February 22, 2012   12:02 pm

රු.15,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගනු ලැබූ කළුතර නගර සභාවේ කර්මාන්ත අධිකාරීවරයා මාර්තු මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

නගර සභාවේ වාහන සහ ගොඩනැගිල්ලක් රක්ෂණය කිරීම සඳහා රක්ෂණ නියෝජිතයකුට අවස්ථාව සලසාදීම සඳහා සැකකරු විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණ නියෝජිතයකුගෙන් රු.15,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.

අදාළ රක්ෂණ නියෝජිතයාගේ පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් කළුතර නගර සභා පරිශ්‍රයේදී ඊයේ දිනයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

පසුව අංක 5538 බී වාර්තාව සමග මොහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මාර්තු මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ චෙතිය හසිත් මුණසිංහ නමැති මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.