නීතිමය සේවාවන් බාහිරකරණය කිරීම ගැන සම්මන්ත්‍රණයක්

February 17, 2012   11:17 am

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පැවති නීතිමය සේවාවන් බාහිරකරණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පසුගිය දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දෙදිනක් පුරා පැවැත්විණි. තරුණ නීතිඥවරුන්ගේ ජාත්‍යන්තර සංගමය විසින් මෙම සම්මන්ත්‍රණය පවත්වන ලද අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.

තොරතුරු තාක්‍ෂණ බාහිරකරණය ගැන නිපුණතාව සහ හැකියාවන් සහිත මානව සම්පතක් ශ්‍රී ලංකාව සතු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා සම්මන්ත්‍රණය අමතමින් පැවසීය.

තොරතුරු තාක්‍ෂණ බාහිරකරණ සේවාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විදේශයන්ගෙන් විශාල ඉල්ලුමක් තිබෙන නිසා මේ වන විට මෙරටට විදේශ විනිමය ඉපයීමේ පස්වන ස්ථානය‍ට තොරතුරු තාක්‍ෂණ බාහිරකරණ සේවා ක‍්ෂේත්‍රය පත්ව තිබෙන බවද දෙදහස් පහළොව වසරරේදී තොරතුරු තාක්‍ෂණ බාහිරකරණ සේවාවන්ගෙන් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන එකක මුදලක් උපයා ගැනීමට අපේක්‍ෂාව බවද ඒ සදහා නිපුණතාවන් සහ හැකියාවන් සහිත මානව සම්පතක් ශ්‍රී ලංකාව සතු බවත් මෙහිදි දේවපුර මහතා සදහන් කළේය.

මෙරට නීතිඥයින්ට රෝම ලංදේසි නීතිය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහිත වීමත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසල දැනීමකින් යුක්ත වීමත් නිසා නීතිමය සේවාවන් බාහිරකරණය කිරීමේ කටයුත්තේදී ද ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්කර ගැනීමට හැකිවන බවද දේවපුර මහතා සම්මන්ත්‍රණයේ දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර තරුණ නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති තංජා ජුසිලා, ඉන්දියාවේ බැංගලෝර් අකුසෙන්ටර් ආයතනයේ සභාපති අවිනාශ් වශිෂ්ට, ටෙක්සාස් ඉන්ස්ටෘමන්ට් සමාගමේ ජ්‍යෙෂ්ඨ උපදේශක ගෞරව් ජුබිලි, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ද මෙම සම්මන්ත්‍රණය ඇමතූහ.