ජන ශක්ති-යූනියන් බැංකුව හා අත්වැල්බැඳගනියි

February 6, 2012   04:54 pm

ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම හා යුනියන් බැංකුව අතර ගිවිසුමක් අත්සන් කෙරුණු අතර එම ගිවිසුමට අනුව යුනියන් බැංකුවේ පාරිභෝගිකයින්ට ජනශක්ති රක්‍ෂණ ආවරණ පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසෙයි.

ජනශක්ති රක්‍ෂණ සමාගමේ කළමනාකර අධ්‍යක්‍ෂ ප‍්‍රකාශ් ෂාෆ්ටර් සහ යුනියන් බැංකුවේ අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී අනිල් අමරසූරිය යන මහත්වරුන් විසින් පසුගියදා අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.

යුනියන් බැංකුව සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ලැබීම සැබවින්ම සතුටට කරුණක් බව ජනශක්ති රක්‍ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ප‍්‍රකාශ් ෂාෆ්ටර් මහතා පැවසුවේය. ශ‍්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන බැංකුවක් වන යුනියන් බැංකුව සමග එක්ව කටයුතු කිරීම තුලින් ආයතන දෙකේම පාරිභෝගිකයන්ට රක්‍ෂණ හා මූල්‍ය අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවන බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

යුනියන් බැංකුවේ අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී අනිල් අමරසූරිය මහතා ප‍්‍රකාශ කර සිටියේ එකම වහලක් යටදි මූල්‍ය සේවා රැසක් සමගින් ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක් ලබාදෙන ස්ථානයක් බවට තම බැංකුව පත්කර ඇති බවයි. පසුගියදා තම බැංකුවේ ප‍්‍රධාන කාර්යාලය නව ගොඩනැගිල්ලකට රැගෙන ගිය අතර නව කාර්යාලය මගින් තම සේවා වඩාත් පුළුල්ව ක‍්‍රියාත්මක කිරීමට හැකි වන බව ඒ මහතා පෙන්වා දුන්නේය. සුළු සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට නිසි මූල්‍ය සේවා සලසන බැංකුවක් වන යුනියන් බැංකුව අඛණ්ඩව සිය පාරිභෝගිකයින් තෘප්තියට පත්කරන සේවා සපයන අතර නව ගිවිසුම මගින් එය තවත් පුළුල් වනු ඇතැයි අනිල් අමරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේය.

මෙරට ප‍්‍රමුඛ රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති සමාගම, රක්‍ෂණ ආවරණ රැසක් හඳුන්වා දී ඇති අතර ජනශක්ති ෆුල් ඔෆ්ෂන්, විහිකල් ඉමර්ජන්සි පොලිසි, ජනශක්ති අන්ලිමිටඞ් සහ හෝටල්හිමියන් සඳහා ඒකාබද්ධ රක්‍ෂණය එම රක්‍ෂණ ආවරණවලින් කිහිපයකි.

ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ඉතා ක්‍රියාකාරි බැංකුවක් වන යුනියන් බැංකුව මෑත කාලයේ සිඝ‍්‍ර වර්ධනයක් වාර්තා කර ඇති අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රවල පෞද්ගලික මුල්‍ය සේවා සැපයීමට වැඩි අවධානයක් යොමු කර තිබේ. එසේම ලංකාවේ ප‍්‍රමුඛ වත්කම් කළමනාකරණ සමාගමක් වන National Asset Management Ltd(NAMAL) හා වසර 50ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන පුරෝගාමි වත්කම් කළමනාකරණ සමාගමක් වන The Finance and Guarantee Company Limited යුනියන් බැංකුව විසින් අත්කර ගැනීමෙන් පසු වත්කම් කළමනාකරණය වෙතද සිය ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කර ඇත.