කුලියට ගෙයක් අරන් ජයටම කළ මත්ද්‍රව්‍ය ජාවාරම

කුලියට ගෙයක් අරන් ජයටම කළ මත්ද්‍රව්‍ය ජාවාරම

May 3, 2024   04:07 pm

විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) රාත්‍රී කාලයේ දෙහිවල පාමංකඩ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලාධාරීන් විසින් ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමක දී මෙම මෙම සැකකරු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරු සතුව තිබී කොකේන් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 129ක්, මැන්ඩි ග්‍රෑම් 22ක්, කුෂ් ග්‍රෑම් 08ක් සහ හෑෂ් ග්‍රෑම් 03ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙම සැකකරු කුලී පදනම මත ලබා ගත් පාමංකඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබේ.

එමෙන්ම ඩුබායි සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයව බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරනය වී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයින් 12 දෙනෙකු ඒ අතර වන බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

ඔවුන් සමග සබඳතා පවත්වමින් අපරාධවලට සහාය දැක්වූ බවට තවත් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම ආරම්භ කළ මාර්තු මස 19 වනදා සිට ඊයේ (02) දිනය දක්වා සැකකරුවන් 804 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.