මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවයි

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවයි

January 25, 2023   05:26 pm

මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ලෙස පත්කිරීමට අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීම් පළ කිරීමට තීරණය කර තිබේ.

එම අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දැන්වීම පළ කළ දින සිට සති දෙකක කාලයක් ලබා දෙනු ලැබේ. 

තවද අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර පුවත්පත් දැන්වීම හරහා දැනුම්දීමට ද නියමිතය.

කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබුණි.

ඊට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන පිරිස සහභාගී වී ඇත.

එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානී රෝහණදීර ද මීට එක්වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නොවැළැක්විය හැකි හේතුවක් මත අද දින රැස්වීමට සහභාගීවී නොමැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රාජකාරි සහ කාර්යයන් ස්වාධීනව, වගවීමකින් සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කිරීමට ද මෙහිදී ඒකමතිකව එකඟත්වය පළවී ඇත.