රාජ්‍ය පරිපාලන ලේකම් ගැන රජයේ තීරණය

රාජ්‍ය පරිපාලන ලේකම් ගැන රජයේ තීරණය

January 24, 2023   11:55 am

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිව කිසිදු පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පසුගිය 10 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරග වැදීමට නියමිත අපේක්ෂකයින්ගෙන් ඇප තැන්පතු භාරනොගන්නා ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් පසුව අදාළ ලිපිය ආපසු කැඳවීමට පියවර ගෙන තිබුණි.

එසේම මැතිවරණ කොමිසම විසින් කළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය 13 වනදා එහි පැමිණි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමෙන් සමාවද ඉල්ලා තිබුණි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා.

"එතුමා ලිපියක් නිකුත් කරලා එදිනම නියෝගය ඉල්ලා අස්කරගෙන තියෙනවා. එයින් කිසිදු බලපෑමක් නීතිමය ආකාරයකට වෙලා නෑ. එවැනි වැරදීම් මීට පෙරත් අමාත්‍යාංශ ලේකම්වරු අතින් සිද්ධවෙලා තියෙනවා. ඒකනිසා ඒ තුළින් අගතිගාමී ප්‍රතිඵලයක් වෙලා නැත්නම් ඒ සඳහා නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ක්‍රමවේදයක් නැතිබව තමයි මගේ අදහස."