බත්තුළු ඔයට පෙරළුණු ඉන්ධන බවුසරය ගසාගෙන යයි

බත්තුළු ඔයට පෙරළුණු ඉන්ධන බවුසරය ගසාගෙන යයි

January 24, 2023   11:10 am

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක් හලාවත - පුත්තලම මාර්ගයේ බත්තුළු ඔයෙන් පහළට පෙරළී යාමෙන් අනතුරක් සිදුවී ඇත.

අද (24) අලුයම 3.30ට පමණ එම අනතුර සිදුවී ඇති බව මුන්දලම පොලීසිය පැවසීය.

පුත්තලම - කල්අඩියේ පිහිටි කර්මාන්ත පුරයට දැවිතෙල් තොගයක් ප්‍රවාහනය කර ඇති බවුසර් රථය ආපසු කොළඹ බලා ගමන් කරමින් සිටිය දී එලෙස අනතුරට ලක්ව තිබේ.‍

බවුසර් රථය හලාවත - පුත්තලම මාර්ගයේ බත්තුළුඔය හරහා ඇති ආරක්ෂිත වැටද බිඳගෙන පෙරළී ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි සිට ඇත්තේ රියදුරු පමණි.

ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව අනතුරට පත්ව ඇති බවුසරයේ රියදුරු බේරා ගැනීමට කටයුතු කර ඇත. 

සුළු තුවාල ලබා ඇති රියදුරු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

බත්තුළුඔය පාලමේ ඇති ආරක්ෂිත වැටද කඩා ගෙන ඔයට පෙරළී ඇති බවුසරය මීටර් 100ක පමණ දුරක් ගසා ගෙන ගොස් හලාවත - පුත්තලම දුම්රිය මාර්ගය හරහා ඇති කළු පාලමේ ගැටී නැවතී ඇති අයුරු දක්නට ඇත.

අනතුරින් බත්තුළු ඔය පාලමේ ආරක්ෂත වැටටද බරපතළ හානි සිදුවී ඇත.

රියදුරුට නින්දයාම සහ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය පවසයි.