අතුරුදන් වූ අයෙකුගේ සිරුර වෙරළට ගොඩගසයි

අතුරුදන් වූ අයෙකුගේ සිරුර වෙරළට ගොඩගසයි

January 24, 2023   09:38 am

පසුගිය 20 වැනිදා සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (23) පේසාලෙයි වෙරළට ගොඩගසා තිබිය දී සොයාගත් බව පේසාලෙයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ, කිළිනොච්චිය, යුනියන්කුලම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කේ. ඇලෙක්ස් නමැති දෙදරු පියෙකුගේ මළ සිරුරක් එලෙස හමුව ඇති බවය.

අදාළ පුද්ගලයා පසුගිය 20 වැනිදා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග මුහුදු ගොස් වෙරළට පැමිණීමෙන් පසුව අතුරුදන්ව ඇති බවට, ඔහු සමග මුහුදුගිය පුද්ගලයින් දෙදෙනෙකු පේසාලෙයි පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි.

අතුරුදන්ව සිටි පුද්ගලයා සොයා ප්‍රදේශවාසීන් හා පොලීසිය පරීක්ෂණ පවත්වා තිබු අතර, අදාළ පුද්ගලයාගේ මළ සිරුර ඊයේ පේසාලෙයි වෙරළට ගොඩගසා තිබියදී හමුවු බව පොලීසිය පැවසීය.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා සමග අවසන්වරට මුහුදුගිය පුද්ගලයින් දෙදෙනාගෙන්, බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගත් බවද පොලීසිය සඳහන් කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් පේසාලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.