කෙසෙල්වත්ත පොලීසියට වැඩ වරදින ලකුණු

කෙසෙල්වත්ත පොලීසියට වැඩ වරදින ලකුණු

January 22, 2023   01:21 pm

නීතීඥවරුන් පිරිසක් සම්බන්ධව කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් අධිකරණය වෙත "බී" වාර්තාවක් ඉදිරිපත් කිරීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් අදාළ "බී" වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ පොලිස්පතිවරයාගේ හෝ පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාශයේ දැනුමකින් තොරව බවය.

ඒ අනුව ඒ පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර විරෝධතාවයක නිරත වූ නීතීඥයින් පිරිසකට එරෙහිව කෙසෙල්වත්ත පොලීසිය විසින් ගොනුකළ බී වාර්තාවට අදාළව සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව ඊයේ දිනයේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයට එරෙහිව නීතීඥයින් පිරිසක් පසුගිය 18 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබු අතර අදාළ විරෝධතාවය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය විසින් නීතීඥයින් පිරිසකට බී වාර්තාවක් ගොනුකර තිබේ.

අදාළ බී වාර්තාව ගොනුකර ඇත්තේ කුමන පදනමක් මත ද සහ කුමන නීති කඩකර තිබේ ද ? යන්න පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් විමසීමක් කර ඇති බව වාර්තා වේ.

අදාළ තොරතුරු ලැබුණු පසු ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.