දුම්රිය කාලසටහන ගැන අලුත්ම විස්තරේ

දුම්රිය කාලසටහන ගැන අලුත්ම විස්තරේ

November 24, 2022   06:58 am

සංශෝධිත දුම්රිය කාල සටහන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම කාල සටහන සකස් කිරීමේ කටයුතු ලබන සතිය තුළ අවසන් කිරීමට හැකි වනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව එම කාල සටහන ප්‍රකාශයට පත්කිරීම කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන අතර එය ක්‍රියාත්මක වන දිනය ලබන සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා සඳහන් කළේය.

දුම්රිය වේග සීමා පැනවීමත් සමග දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කර තිබුණි.

දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පනවනු ලැබීය.

වේග සීමා පැනවීම හේතුවෙන් සිදුවන දුම්රිය ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට නියමිතය.

මේ අතර දුම්රිය ප්‍රමාදයන් සිදුවීම හේතුවෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත සිට දුම්රියෙන් පැමිණෙන නිලධාරීන් සේවයට වාර්තා කිරීමේදී නියමිත රාජකාරී වේලාවේ සිට පැමිණීම සඳහා පැය භාගයක සහ පිටවීම සඳහා පැය කාලක සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ.

රාජකාරියට බාධාවක් නොවන පරිදි අදාළ සහන කාලය ලබා දී ඇති අතර මෙම සහන කාලය ලබාගන්නා නිලධාරීන් දිවා ආහාරය ලබාගන්නා වේලාව තුළ අදාළ රාජකාරී හැකිතාක් දුරට ආවරණය කරගැනීමට කටයුතු කළ යුතු බව සඳහන්ය.