වකුගඩු හොරු සමඟ හෙලුවෙන් සිටගත් පොලිස් ලොක්කා

වකුගඩු හොරු සමඟ හෙලුවෙන් සිටගත් පොලිස් ලොක්කා

November 23, 2022   07:58 pm

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදු කෙරෙන වකුගඩු ජාවාරමක් පිලිබඳ තොරතුරු අද දෙරණ උකුස්සා ඉකුත් දින දෙකේදී රටට අනාවරණ කළේය.

අද දෙරණ උකුස්සා ඊයේ අනාවරණ කළේ වකුගඩු ලබාදුන් පිරිසට බොරැල්ලේ පිහිටි දේවස්ථානයක් අසළට පැමිණ රෝහල් සේවකයන් විසින් දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කරන ලෙස පැවසූ ආකාරයයි.

ඊට පිරිස විරුද්ධවීමත් සමග රෝහල් සේවකයන් සමග පැමිණි පොලිස් නිලධාරියා දැක් වූ ප්‍රතිචාරය ද අප ඊයේ රට හමුවේ අනාවරණ කළේය.

පොලිස් නිලධාරියාගේ එම බලපෑම හමුවේ පැමිණි පිරිස පසුව අදාළ රෝහල සමග මින් ඉදිරියට සබඳතාවක් නොමැති බවට වන දිවුරුම් ප්‍රකාශයට අත්සන් තැබූ අයුරු අප කැමරාවේ සටහන් විය.

එය සම්පූර්ණයෙන්ම පොලිස් නිලධාරියාගේ අධික්ෂණය යටතේ සිදු කිරීම විශේෂත්වයකි.

දිවුරුම් ප්‍රකාශයට අත්සන් තැබීමෙන් අනතුරුව වකුගඩු ලබාදුන් පිරිසට රුපියල් ලක්ෂ 2ක් බැගින් ලබාදීම රෝහල් සේවකයෙකු සිදුකළ ආකාරයද දැකගත හැකිවිය.

පසුව තම පෞද්ගලික මෝටර් රථයෙන් පැමිණි බව පැවසූ පොලිස් නිලධාරියා අදාළ පෞද්ගලික රෝහලේ සේවකයන් දෙදෙනා සමගින් එම ස්ථානයෙන් පිටව ගියේය.

ඔවුන් පසුපස හඹාගිය උකුස්සාට දැකගත හැකිවුණේ CAN  අංක 7000 කාණ්ඩයේ මෝටර් රථයෙන් ඔවුන් බොරැල්ල දෙසට ගමන් කරන ආකාරයයි.

පසුව පොලිස් නිලධාරියා ඇතුළු පිරිස වකුගඩු ජාවාරම සිදුකරන පෞද්ගලික රෝහලේ මෝටර් රථ අංගනයෙන් ඔවුන් ගමන් කළ රථය නවතා අදාළ රෝහල තුළට ගිය ආකාරයද දැකගත හැකිවිය.

එහිදී උකුස්සාට දක්නට ලැබුණේ පොලිස් නිලධාරියා තමන්ගේ පෞද්ගලික මෝටර් රථය බව පැවසූ අදාළ රථයේ වෛද්‍ය ලංඡනය අලවා ඇති ආකාරයය.

එමෙන්ම එය බොරැල්ලේ පදිංචි කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවද උකුස්සාට සොයාගත හැකිවුණි.

පසුව වකුගඩු ලබාදුන් පුද්ගලයන් රෝහලට හඳුන්වාදුන් තැරැව්කරුවකු සමග අප රෝහලට යන්නේ එහි ප්‍රධාන වෛද්‍යවරිය බව පැවසෙන කාන්තාව හමුවීම සඳහාය.

අදාළ කාන්තාව තැරැව්කරු දුටු සැණින් මෙලෙස එම ස්ථානයෙන් පලාගියාය.

එහිදී වූ විශේෂ සිදුවීම වන්නේ රෝහල් සේවකයන් සමග පැමිණි පොලිස් නිලධාරියා තමන්ගේ පෞද්ගලික මෝටර් රථය ලෙස පෙන්වූ මෝටර් රථයෙන් අදාළ වෛද්‍යවරිය එම ස්ථානයෙන් පිටවීමය.

ඇය ගිය පසු පොලිස් නිලධාරියාද රෝහලෙන් පිටතට පැමිණියේය.

පසුව එම පොලිස් නිලධාරියා විසින් අප සමග සිටි තැරැව්කරුට බලපෑම් කළේ මේ ආකාරයෙනි.

ඉන් අනතුරුව ඔහු මෙම කළු පැහැති CAT අංක 7000 කාණ්ඩයේ මෙම මෝටර් රථයෙන් රෝහලේ සේවකයෙකු සමග නරාහේන්පිට පිහිටි පොලිස් නිල නිවාස සංකීර්ණය වෙතට යන අයුරුත් ඔවුන් පසුපස හඹාගිය උකුස්සාට නිරීක්ෂණය වුණි.

මෙම නොමිනිස් ක්‍රියාව සිදුකරන බොරැල්ලේ පෞද්ගලික රෝහල සහ එම කූඨ ක්‍රියාවට සහයයෝගය දෙන මෙවැනි පොලිස් නිලධාරීන් පිළිබඳව වගකිවයුතු පාර්ශව ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව අද දෙරණ උකුස්සා අවධානයෙන්.