ශ්‍රී ලංකාවට ණයහිමියන්ගේ මූල්‍ය සුරක්ෂිතතාවය කඩිනමින් අවශ්‍යයි

ශ්‍රී ලංකාවට ණයහිමියන්ගේ මූල්‍ය සුරක්ෂිතතාවය කඩිනමින් අවශ්‍යයි

November 15, 2022   09:59 pm

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සහ ජපානය ඇතුළු බහු ණයහිමියන්ගෙන් මූල්‍ය සුරක්ෂිතතාවයක් ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය වන බව G20 සමුළුවට සහභාගිවී සිටින රාජ්‍ය නායකයින් පෙන්වා දී තිබේ.

ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති හෙයින් මෙම සුරක්ෂිතතාවය කඩිනමින් අවශ්‍ය කරන බවය. 

G20 සමුළුවට සහභාගිවී සිටින ලොව ප්‍රධාන පෙළේ රටවල නායකයින් මැදි ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ආපසු ගෙවීමේ ගැටලුව පිළිබඳ අද (15) අවධානය යොමු කර තිබුණි.

එහිදී ශ්‍රී ලංකාව ගැනත් වැඩි අවධානයක් යොමුවී ඇත.

ඒ අනුව G20 රටවල නායකයින් එහිදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විවිධ රටවල් සිදුකර ඇති ඉල්ලීම්වලට බහු ණයහිමි රටවල් විසින් යහපත් ප්‍රතිචාරයක් ලබාදිය යුතු බවය.

G20 සමුළුව මෙවර ඉන්දුනීසියාවේ බාලි නුවරදී ලොව ප්‍රධානම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණි.

කෙසේවෙතත් රොයිටර්ස් පුවත් සේවයේ වාර්තා කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් කඩිනම් නොකිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල විවේචනයට ලක්වූ චීනය පිළිබඳව සමුළුවේදී කිසිවක් සඳහන් නොවූ බවය.