ඉන්ධන මිල ගැන ඇමතිගෙන් නිවේදනයක්

ඉන්ධන මිල ගැන ඇමතිගෙන් නිවේදනයක්

November 13, 2022   11:04 am

ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නොවැම්බර් මාසයේදී නැවතත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කළ බැවින් නැවතත් 15 වනදා මිල වෙනස් නොකරන බවය.

මේ අතර, මාස දෙකකට ආසන්න කාලයක් කොළඹ වරාය ආශ්‍රිතව නැංගුරම් ලා තිබූ නෞකාවේ බොරතෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, ඊයේ රාත්‍රි සිට අදාළ නෞකාවේ බොරතෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බවය.
 
බොරතෙල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් අඩංගු අදාළ නෞකාව සැප්තැම්බර් 20 වන දින මෙරටට ළඟා වූ අතර මුදල් නොගෙවීම හේතුවෙන් එහි ගොඩබෑමේ කටයුතු ප්‍රමාද වී තිබුණි.

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ද පසුගිය ඔක්තෝබර් මස 07 වන දින සිට තාවකාලිකව නතර කර තිබේ.

මේ අතර පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙරටට ආනයනය කළ ඔක්ටේන් 95 වර්ගයේ පළමු පෙට්‍රල් තොගය ගොඩබෑමේ කටයුතු ද අද දිනයේ සිට ආරම්භ කර ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

එම නෞකාවේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 19,505ක් අඩංගු වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 14,900ක් අඩංගු වේ.