රුපියල් බිලියන 195ක හිඟ මුදලක්

රුපියල් බිලියන 195ක හිඟ මුදලක්

November 13, 2022   07:30 am

සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම්කරුවන් සඳහා රජය විසින් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ගෙවීමට පොරොන්දු වූ රුපියල් බිලියන 20ක මුදල මෙතෙක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා සඳහන් කළේ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව ගෙවිය යුතු මුදල්වලින් මහා පරිමාණ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ඉදිකිරීම්කරුවන්ට හැර සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම්කරුවන්ට අදාළ ගෙවීම් සිදුකිරීමට රජය පොරොන්දු වී තිබූ බවය.

පසුගිය මාසයේ රජය සහ ඉදිකිරීම්කරුවන්ගේ සංගම් අතර පැවති සාකච්ඡාවකදී ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 10ක් සහ නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 10ක් ලෙස ලබාදීමට එකඟවී තිබේ.

කෙසේවෙතත් එම මුදල් මෙතෙක් ලබාදී නොමැති අතර ඉදිකිරීම්කරුවන් සහ රජය අතර තවත් සාකච්ඡාවක් එළඹෙන 21 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

පසුගිය කාලයේ සිදුකළ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ව්‍යාපෘතිවලට අදාළව ප්‍රමාද බිල්පත් සඳහා රුපියල් බිලියන 195ක පමණ මුදලක් රජයෙන් අයවීමට ඇති බව සුසන්ත ලියනාරච්චි මහතා සඳහන් ක‍ළේය.

මේ අතර ඉදිරි අයවැය තුළින් සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.