කුසගින්න උහුලාගෙන ජීවත් වෙන්න වෙර දරන පවුලක්

කුසගින්න උහුලාගෙන ජීවත් වෙන්න වෙර දරන පවුලක්

November 10, 2022   03:34 pm

දරුවන් සිව්දෙනෙකුගේ වගකීම් තනිව දරන්නට සිදුවූ අසරණ මවක් පිළිබඳ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා විය.

සැමිය ඇයව හැරගොස් ඇති අතර කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් එම පවුල මෙම තත්ත්වයට පත්වී ඇත.

දරුවන් සිව්දෙනා සමග කුසට කිසිඳු ආහාරයක් නොමැතිව බොහෝ දින ගෙවාදැමීමට සිදුවන බවද ඇය සඳහන් කළාය.   

ආහාර වේලක් නොමැති දිනවල දරුවන් තිදෙනා පාසල් නොයන බවද ඇය අප සමග පැවසුවාය.

මෙම අසරණ පවුල ජීවත් වන්නේ ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ ය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ එවැනි දිනවල තුන්වැනි වියේ පසුවන පුතණුවන් මව් කිරි බී කුස පුරවාගන්නා බවය.

ඒ අනුව ඇයට දරුවන්ගේ කුස පුරවන්නට සිදුවී ඇත්තේ අසල්වැසියන් ඉඳ හිට ලබාදෙන සුළු ආහාරයකිනි.

8, 9 සහ 13 වැනි වයස්වල පසුවන දරුවන් තිදෙනාට පාසල් යෑමට ද සිදුවී ඇත්තේ විවිධ අඩුපාඩුකම් රැසක් මධ්‍යයේය.

දෑස්වල කඳුළු පුරවාගත් මෙම මව ඉල්ලා සිටින්නේ තම දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීමට උපකාරයක් කරන ලෙසය.

මෙම පුවත සම්බන්ධ වැඩි විස්තර සඳහා
අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරු
කාංචන කුමාර ආරියදාස
077 341 6157
071 536 1347