ඉම්රාන් ඛාන් ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
සයුරෙන් එතෙර

ඉම්රාන් ඛාන් ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

November 5, 2022   01:52 pm

විරෝධතා රැළියක් අතරතුර දී වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල්ගතව සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පළමු වරට රෝහලේ සිට ජනතාව අමතා තිබේ.

එහිදී තමාට වෙඩිතැබීම ගැන ඉම්රාන් එරට වත්මන් අගමැති ෂෙබාස් ශාරීෆ් ඇතුළු පිරිසකට චෝදනා කර ඇත.

ඉස්ලාමාබාද් දක්වා පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා රැළියක් අතරතුර දී පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක් වුණි.

ඔහු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එරට වත්මන් අගමැති ෂෙබාස් ශරීෆ් ට අමතරව අභ්‍යාන්තර කටයුතු ඇමති රානා සනාවුල්ලා සහ බුද්ධි අංශ නිලධාරි මේජර් ජෙනරාල් ෆයිසාල් නසීර් හට ද චෝදනා කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ වෙඩික්කරුවන් දෙදෙනෙකු මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ බවය.

පළමු වෙඩික්කරුගේ ප්‍රහාරයෙන් ඛාන් ඇද වැටීමත් සමග ඔහු මිය ගිය බව සිතු අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් පළා ගිය බව ඔහුගේ මතයයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙස ඔහු ඉල්ලීම් කර ඇත.

මේ අතර ඛාන් පාර්ශ්වකරුවන් එරට ප්‍රධාන නගරවල වීථි අවහිර කරමින් විරෝධතාවල නිරත වී තිබේ.

එරට ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්ද ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

කෙසේවෙතත් ඉම්රාන් ඛාන් එල්ල කරන චෝදනා එරට හමුදාව ප්‍රතික්ෂේප කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පාකිස්තාන හමුදාවේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉම්රාන් ඛාන් එල්ල කරන චෝදනා පදනම් විරහිත හා වගකීම් විරහිත ප්‍රකාශ බවය.

ඉම්රාන් ඛාන් සිදු කරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බවද පාකිස්තාන හමුදාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉකුත් 03 වනදා එල්ලවූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලැබූ අතර එක් අයෙකු මියගියේය.