උපුල් රෝහණ ගේ ඇෆ්ලටොක්සින් හෙළිදරව්ව ගැන විමර්ශනයක්

උපුල් රෝහණ ගේ ඇෆ්ලටොක්සින් හෙළිදරව්ව ගැන විමර්ශනයක්

September 23, 2022   02:34 pm

ගැබිනි කාන්තාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට රජයෙන් නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් විෂකාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා අඩංගුව තිබූ බව නාගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය පරීක්ෂණ වාර්තා 06කින් මීට පෙර සනාථ කර තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද එම වාර්තා සනාථ කරමින් ප්‍රකාශ කළේ, ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් අඩංගු බවට මීට මාස කිහිපයකට ඉහත දී කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බවය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහන් කළේ, ඇෆ්ලටොක්සින් අඩංගු බවට හඳුනාගත් ත්‍රිපෝෂ මව්වරුන් අතට පත් නොවූ බවය.

මෙවැනි පසුබිමක රජය විසින් ලබාදුන් ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් විෂකාරකය අඩංගු බවට පළමුවරට මාධ්‍යයට අනාවරණ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාව අද (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ වැටලීම් ඒකකයට කැඳවා තිබුණි.

ඒ, ඔහු සිදුකළ ප්‍රකාශය පිළිබඳව පැවැත්වෙන විමර්ශනයකට අදාළවය.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු බවන බවය.

"විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා මේක තුළ යම් අසාධාරණයක් වෙලා තියෙනවා නම් මහජනතාවට සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. යම් නිලධාරියෙක්ගේ නොසැලකිලිමත්කම නිසා යම් හානියක් සිදුවෙලා තියෙනවා නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී කියලා විශ්වාස කරනවා. ඒ වගේම දිගින් දිගටම මාව නිහඬකරවීම හෝ මාව පීඩාවට පත් කරලා මේ ප්‍රශ්නයෙන් මාව ඉවත් කරලා මේ ගැන විමර්ශන නොකර ඉන්න උත්සාහ කරනවා නම් ඊට අදාළ ක්‍රියාමාර්ගත් අපි ගන්නවා." 

"ඉතාම පැහැදිලිව වාර්තා 8ක් පදනම් කරගෙන මම ඒ ප්‍රකාශය නිකුත් කළේ. එම වාර්තාවල තියෙන කරුණු සනාථ කරන්න ඒ හා සමානවම ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රදේශවලට ත්‍රිපෝෂ බෙදාහැරීම සහ ඒවා නොසැලකිලිමත් ලෙස බදාහැරීම ගැන කරුණු සනාථ කරන්න මම බලාපොරොත්තු වෙනවා."

"ත්‍රිපෝෂ සමාගමෙන් මව්වරුන්ට බෙදාහැරීම සඳහා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට ලබාදුන් ත්‍රිපෝශවලින් තමයි මේ සාම්පල අපි යොදා ගත්තේ. එතකොට එයාලා කර්මාන්ත ශාලාවෙන් නිකුත් කළ ඒවාගෙන් තමයි අපි සාම්පල ගත්තේ. ඒ නිසා එම සභාපතිවරයාට එසේ කීමට අයිතියක් නෑ සහ ඒක සත්‍යයක් නෙමේ කියන එක ඉතාම පැහැදිලියි."

"අපි තාම සාම්පල් අරගෙන තියෙන්නේ 8ක. කළුතරට ගියපු ප්‍රමාණයෙන් ත්‍රිපෝෂ කොට්ට 150කට ආසාන ප්‍රමාණයක් තමයි එතන රඳවා තිබිලා තියෙන්නේ. ත්‍රිපෝෂ කොට්ට 150කට වඩා වැඩි ප්‍රමාණයක් එක තොගයකට නිෂ්පාදනය කරනවා. ඒ නිසා ඉතිරි ත්‍රිපෝෂ ලංකාවේ කුමණ ප්‍රදේශවල බෙදුවද කියලා අපි පරීක්ෂණ කරමින් සිටිනවා."