රජය ණයහිමියන් සමග එකඟ වෙන කරුණු මොනවා ද? - හර්ෂ

රජය ණයහිමියන් සමග එකඟ වෙන කරුණු මොනවා ද? - හර්ෂ

September 21, 2022   02:47 pm

ශ්‍රී ලංකා රජය ණයහිමියන් සමග යම් එකඟතාවයන්ට පැමිණෙන්නේ නම් ඊට පෙර එම කරුණු පිළිබඳව පාර්ලිමේන්තුව දැනගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

"ශ්‍රී ලංකා රජය IMF සමග සිදුවූ එකඟතාවය තමයි සියලුම ණයහිමියන් සමග විවෘත සාකච්ඡාවක් කරනවා කියලා සිකුරාදා.. රොයිටර්ස් වාර්තා කරලා තියෙනවා."

"ශ්‍රී ලංකාවේ ණයහිමියන් සමග ණය කපාහැරීමේ (ප්‍රතිව්‍යුහගත කිරීමේ) වැඩසටහනකට රජය එකඟ වෙනවා නම් ඒකට මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තෙම එකඟතාවය අවශ්‍ය බව මම දැඩිව විශ්වාස කරනවා."

"මොකද මේ රජය තව කොච්චරකල් තියෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. මේ වගේ අර්බුදකාරී අවස්ථාවලදී රජයවල් පෙරළෙනවා." 

"අපි සංවේදී කාරණා ඉල්ලන්නේ නැහැ. නමුත් කොයි දිශාවටද අපි ගමන් කරන්නේ, මොකක්ද ණය හිමියන්ට කියන්න යන්නේ.. ඒක අපි දැනුවත් වුණොත් වඩා හොඳයි."

"ශ්‍රී ලංකාව ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා සාකච්ඡා කරන ප්‍රථම වතාව තමයි මේක. මේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා දැඩි කොන්දේසි අපිට අනුගමනය කරන්න සිද්ධවෙනවා. ඒවා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න සිද්ධවෙනවා. එහෙම නැතුව කරන්න බැහැ."

ඊට පිළිතුරු දුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ තවමත් එවැනි ගිවිසුමක් ඇති කරගෙන නොමැති බවය. 

"තවදුරටත් විශ්වාසනීයත්වය සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති ඒ අය කියනවා. හංගන්න මේක අපේ පුද්ගලික දෙයක් නෙමෙයි," යනුවෙන්ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ සඳහන් කළේ ශ්‍රී ලංකාව විසින් සකස් කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන එළඹෙන සිකුරාදා දින ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කරන බවය.

"අපි විසින්ම නිර්මාණය කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මකට අනුව වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අපේ ණයහිමියන්ට අපි පෙන්වා දියයුතුව තිබෙනවා. එමගින් ක්‍රියාත්මක කරන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හරහා අප නැවතත් ආර්ථික ස්ථායිතාව ඇති කරගනිමින් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඑන ආකාරය පෙන්වා දිය යුතු වනවා." 

"අපේ මෙම වැඩසටහනට අනුව රටේ ආර්ථික ස්ථායිතාව ඇති කරගැනීම සඳහා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළැඹිය යුතුයි. වර්තමාන අර්බුදකාරි වතාවරණය තුළ එවැනි තීරණවලට එළැඹීමේදී සමාජයට එය වේදනාත්මක වුනත් එහි ප්‍රථම පියවර ලෙස විදුලි ගාස්තු, ඉන්ධන මිල, බදු ඉහළ නැංවීම ආදී තීරණ ගැනීමට සිදුවුණා." 

"එහි දෙවන පියවර ලෙස ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව පවතිනවා." 

"මේ ඉදිරිපත් කරන වැඩසටහන ඔස්සේ ඇත්තටම පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට අපිට හැකියාව පවතින බව විශ්වාස කරනවා. ඒ අනුව එළඹෙන සිකුරාදා දින අපේ මෙම වැඩසටහන අපි අපේ ද්විපාර්ශ්වික ණයහිමියන්ට ආරාධනා කරමින් ජාත්‍යන්තරයට ඉදිරිපත් කරනවා... මෙය තමයි අපේ ඉදිරි සැලැස්ම කියලා."

"මෙම වැඩසටහනට ද්විපාර්ශ්වික ණයහිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබෙනු ඇති බව මගේ විශ්වාසයයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ද්විපාර්ශ්වික ණයහිමියන්ගෙන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති." 

"ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ ඉදිරි කටයුතු සඳහා ණයහිමියන්ගෙන් ලැබෙන එකඟතාව තීරණාත්මක සාධකයක් වනවා. හැමෝම අහන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කොච්චර කාලයක් යයිද කියලා ? ඒ සියල්ල තීරණය වෙන්නේ අපේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ තීරණ මතයි."