මේ වෙලාවේ ගොවීන්ගෙන් අරන් රජය පාඩුපිට වී අලෙවිකළ යුතුයි

මේ වෙලාවේ ගොවීන්ගෙන් අරන් රජය පාඩුපිට වී අලෙවිකළ යුතුයි

September 19, 2022   08:33 pm

රජය නාඩු වී කිලෝවක් රුපියල් 150ක මිලට ගොවීන්ගෙන් මිලදීගෙන පාඩුවක් විඳගනිමින් හෝ එම සහල් අලෙවි කළ යුතු බව මහා පරිමාණ වී මෝල් හිමියෙකු වන නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසයි.

ඔහු පැවසුවේ තමන් ද වී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක් ගොවීන්ට ගෙවීමට සූදානම් බවය.  

අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකේෂ්වර මහතා මේ බව ප්‍රකාශ කළේය.

"රජය මේ වෙලාවේ 120 නාඩු, 125 සම්බා, 130 කීරි සම්බා කියලා මිල දාලා තියෙනවා. නමුත් ඒ මිල ගොවියාට යන මිලත් එක්ක මේ වෙලාවේ මදි.  මහ කන්නයේ ගොයම් කපලා මිල සංශෝධනය කර ගන්නකම් මේ වෙලාවේ අපි ගොවියාට රුපියල් 150ක විතර නාඩු වී සඳහා දිය යුතුයි. එහෙම දිමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ ගොවියා ඊළඟ මහ කන්නයට කුඹුරට බස්ස ගන්න. "

ප්‍රශ්නය - වී රුපියල් 150ට මිල දී ගන්න කියලා සහල් කිලොවක් කීය ගානේ විකුණන්‍න වෙයිද ?

"මම කියන්නේ නෑ සහල් මිල වැඩි කරන්න කියලා. වී අලෙවි මණ්ඩලය හරහා  රුපියල් 150ට වී කිරලා රජය ඒ හාල් විකුණන්න ඕනේ. රජය 220 ට විකුණනවා කියන්න කෝ. හාල් කිලෝ එක රුපියල් 30ක් හරි පාඩු වෙනවා කියන්න කෝ. රජය පාඩු විදින්න ඕනේ මේ වෙලාවේ. එහෙම කරොත් තමයි ගොවියා රැක ගන්න පුළුවන් වෙන්නේ. පාරිභෝගිකයා රැක ගන්න පුළුවන් වෙන්නේ."