ජනපති දෙවන එලිසබෙත් රැජිනට අවසන් ගෞරව දක්වයි

ජනපති දෙවන එලිසබෙත් රැජිනට අවසන් ගෞරව දක්වයි

September 18, 2022   08:18 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මීට සුළු වේලාවකට පෙර දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහයට වෙස්ට්මින්ස්ටර් ශාලාවේදී අවසන් ගෞරව දක්වා තිබේ.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා තානාපතිනි සරෝජා සිරිසේන මහත්මිය ද එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (19) දින වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතය.

ඒ අනුව, මේ වන විට රැජිනට අවසන් ගෞරව දැක්වීමට එරට වැසියන්ට ලබා දී ඇති අවස්ථාව එරට වේලාවෙන් හෙට උදෑසන 6.30ට අවසන් වේ.

අනතුරුව, එරට වේලාවෙන් උදෑසන 10.44ට රැජිනගේ දේහය වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත ගෙනයනු ඇත.

එම අවස්ථාවට රාජකීයයන්ද පා ගමනින් එක් වේ.

රැජිනගේ දේහය මේ වනවිට තැන්පත් කර ඇති වෙස්ට්මින්ස්ටර් ශාලාවේ ඊයේ රාත්‍රී දේව මෙහෙය සඳහා විලියම් කුමරු, හැරී ඇතුළු රැජිනගේ මුණුබුරු මිණිබිරියන් එක්වුණි.

මෙහිදී රාජකීය වරප්‍රසාද අත්හළ හැරී රාජකීය ගුවන් හමුදා නිල ඇදුමින් සැරසී සිටීම විශේෂත්වයකි. 

ඒ තෙවැනි චාල්ස් රජුගේ ඉල්ලීමක් මත බව වාර්තා වේ.

මේ අතර, තෙවැනි චාල්ස් රජු සහ විලියම් කුමරු, රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රැඳීසිටින ශෝකයට පත් වැසියන් හමු වී තිබේ.

ඒ, පැය ගණනක් පුරා පෝළිමේ රැඳී සිටින වැසියන් විස්මයට පත් කරමිනි.

දශක 7ක කාලයක් බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් දෙවන එලිසබෙත් රැජිනගේ හෙට පැවැත්වෙන අවමංගල්‍ය අවස්ථාවට එක් වීමට රාජ්‍ය නායකයින් 100කට ආසන්න පිරිසකට ආරාධනා කර ඇති බව සඳහන්ය.