විස හාල් ගැන සොයන්න සාම්පල රසායනාගාරවලට - සැක නම් දැනුම්දීමට අංකයක්

විස හාල් ගැන සොයන්න සාම්පල රසායනාගාරවලට - සැක නම් දැනුම්දීමට අංකයක්

September 18, 2022   07:40 pm

ආනයනික සහල්වල විස රසායනික ද්‍රව්‍ය ඇති බව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය සිදුකළ පරීක්ෂණයකදී තහවුරු වී ඇතැයි සතිඅන්ත පුවත්පත් දෙකක් අද (18) වාර්තා කර තිබුණි.

නමුත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ආනයනික සහල්වල විස රසායනික ද්‍රව්‍ය ඇති බවට ඉරිදා ජාතික පුවත්පත් දෙකක් සිදුකර ඇති අනාවරණ සම්පූර්යෙන් අසත්‍ය යැයි පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය තහවුරු කළ බවය.

මේ අතර වෙළෙඳපොළේ ඇති ආනයනික සහල් සාම්පල පරීක්ෂණ සඳහා මේ වනවිටත් රජයේ අනුමත රසායනාගාර වෙත යොමු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේය.

විස සහිත සහල් මෙරටට ආනයනය කර ඇති බවට ඉරිදා ජාතික පුවත්පත් දෙකක අද තොරතුරු වාර්තා කර තිබුණි.

එම පුවත් වාර්තාවල දැක්වුණේ 2022 ජනවාරි සිට අගෝස්තු මාසය අවසන් වන විට මෙරටට හාල් මෙට්‍රික් ටොන් 596,440ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 64,591ක් බවය.

මේ ආනයනික සහල් සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය රුපියල් ලක්ෂ 350ක් පමණ වටිනාකමින් යුත් CP-MS නම් යන්ත්‍රය යොදාගෙන පරීක්ෂණයක් සිදුකර ඇති බව පුවත්පත් වාර්තා කරයි.

එම පර්යේෂණයට අනුව ආනයනික සහල්වල ඊයම් 43%ක්, කැඩ්මියම් 26%ක්, මර්කරි හෙවත් රසදිය 20%ක්, සෙලනියම් විෂ කාරකය 47%ක් පවතින බව අනාවරණය වී ඇතැයි පුවත්පත් වාර්තා පෙන්වා දෙයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම විසකාරක ශරීරයට සම්පූර්ණයෙන් අහිතකර වන අතර ඒවා ශරීරගත වීමෙන් වකුගඩු රෝග, පිළිකා, අඩුබර දරු උපත්, මොළය නිසි ලෙස වර්ධනය නොවීම ඇතුළු රෝග ගණනාවකට හේතුවන්නේ යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන බවය.

කෙසේවෙතත් එම පුවත්පත් වාර්තා ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළේය.

එහි දැක්වුණේ විෂ සහිත සහල් ලංකාවට ගෙනා බවට ජාතික පුවත්පත්වල පළකර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රත්නවීර මහතා ප්‍රකාශ කර ඇති බවය.

මේ පිළිබඳව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් සිදුකරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික පුවත්පත් ආනයනික සහල් පිළිබඳව අනාවරණ කිරීමට පෙර කෘෂිකර්ම අමාත්‍යවරයාද ආන්දෝලානාත්මක ප්‍රකාශයක් පසුගියදා සිදුකළේය.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයෙන් පසුව ආනයනික ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් වගකීම ඇති මෙරට ප්‍රධානම බලධාරි ආයතනය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම ඒකකයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, එම සාම්පල දැනටමත් රජයේ අනුමත රසායනාගාර වෙත යොමු කර ඇති අතර එහි පරීක්ෂණ වාර්තා ලබන සතියේ ලැබීමට නියමිත බවය.

යම් පාරිභෝගිකයෙකුට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල අන්තර්ගතය සම්බන්ධයෙන් කිසියම් සැකයක් පවතී නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ 0112 112 718 අංකයට දැනුම් දෙන ලෙසද එම ඒකකය ජනතාවට දැනුම් දෙයි.

මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා "අද දෙරණ" කළ විමසිමකදී පැවසුවේ ආනයනික සහල්වල විස රසායනික ද්‍රව්‍ය ඇතැයි තහවුරු වූ කිසිදු පරීක්ෂණ වාර්තාවක් තමාට ලැබී නොමැති බවය.