නිවිතිගල දැරිය ඝාතනයට මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

නිවිතිගල දැරිය ඝාතනයට මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

September 18, 2022   06:44 pm

නිවිතිගල, දෙල්වල ප්‍රදේශයේදී 7 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු කලවාන නගරයේදී අද (18) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් කලවාන නරගයට පුවක් විකිණීම සඳහා පැමිණ අවස්ථාවේදී කලවාන පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු විසින් දෙල්වල ප්‍රදේශයේ දැරියකට අමානුෂික ලෙස පහරදී පසුව දැරිය මියගියේ යැයි සිතා පතල් වළක දමා තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුගේ බිරිඳ සහ අනියම් බිරිදෑවරු දෙදෙනාද මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකාරියන් තිදෙනාගෙන් එක් අයෙක් අදාළ සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔත්තුබලා ඇති අතර පසුව එම අපරාධය වසන් කිරීමට ද සැකකරුට උදව්කර ඇතැයි පොලීසිය පවසයි.

සැකකාරියන් තිදෙනා අතර ඝාතනය කෙරුණු දැරියගේ මවද සිටින බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුගේ නිත්‍යානූකූල බිරිඳ සහ අනියම් බිරිඳෑවරු දෙදෙනා එකම නිවසේ ජීවත් වී ඇති බවට වාර්තා වෙයි.

එම ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු තවත් අනියම් සම්බන්ධතා කිහිපයක් පවත්වා ඇති බව පොලීසිය සඳහන් කළේය.

කලවාන පනාපොළ ප්‍රදේශයේදී එම සැකකරු සැඟවී සිටින බවට ලද තොරකුරකට අනුව කහවත්ත සහ හොරණ පොලිස් විශේෂ කර්ය බළකා කඳවුරුවල කණ්ඩායම් දෙකක් ඉකුත් 15 සිට එම ප්‍රදේශයේ සිදුකර සෝදිසි මෙහෙයුමකදී ප්‍රධාන සැකකරුගේ නිත්‍යානූකූල බිරිඳ අත්අඩංගුවට ගැනීමට හැකිවුණි.

ප්‍රධාන සැකරුගේ අනියම් බිරිඳගේ 7 හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදී මීට මාස 6කට පෙර ඝාතනය කර දෙල්වල ප්‍රදේශයේ පැරණි පතල් වළකට සිරුර දමා තිබුණි.

එලෙස පතල් වළකට දැමූ දැරියගේ සිරුර පසුගිය 11 වනදා ගොඩගනු ලැබීය.

7 හැවිරිදි දැරිය අතුරුදන් බවට ඇයගේ මව මැල්සිරිපුර පොලීසිය වෙත අසත්‍යය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව හෙළිවී ඇත.

පසුව දෙල්වල ගඟපහළ ප්‍රදේශයේදී දැරිය ඝාතනය කර වළ දමා තිබූ බව හෙළි වූ අතර ගම්වාසීන් කිහිපදෙනෙකු විසින් ඒ ගැන පොලීසියට කරුණු දන්වා තිබුණි.

අදාළ දියණිය මැණික් ගලක් අතුරුදන් කළේ යැයි පවසමින් සැකකරු විසින් දැරියට අමානුෂික ලෙස පහරදී තිබුණි.

එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු කලෙක සිටි නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති අතර පාසල් සිසුවියක් පැහැරගෙන යෑම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බවට අනාවරණය වී තිබේ.