මෙරටින් පැනයාමට තැත්කළ පිරිසක් අල්ලයි

මෙරටින් පැනයාමට තැත්කළ පිරිසක් අල්ලයි

November 9, 2021   04:03 pm

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් පැනයාමට තැත්කළ පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබේ.

හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙ‍හෙයුමකදී පුද්ගලයින් 19 දෙනෙකු වෑන් රථයක් සමඟ හලාවත මෝය ප්‍රදේශයේ දී අද (09) නාවික හමුදා භාරයට ගත් බව සඳහන් විය.

මුහුදු මාර්ග ඔස්සේ සිදු වන නීතිවිරෝධී සංක්‍රමණික කටයුතු ඇතුළු සියලුම නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. 

ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී හලාවත මෝය අසල සැකකටයුතු ලෙස නවතා තිබූ වෑන් රථයක් පරික්‍ෂා කර තිබුණි. 

එහිදී නීතිවිරෝධී ලෙස මුහුදු මඟින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 19ක් සහ එම වෑන් රථය රියදුරු හා සහායක ද සමඟින් තම භාරයට ගත් බව නාවික හමුදාව නිවේදනය කළේය.

නාවික හමුදා භාරයටගත් පිරිසට එම වෑන් රථයේ රියදුරු හා සහායක ඇතුළු පිරිමි පුද්ගලයන් 16 දෙනෙක්, එක් කාන්තාවක්, කුඩා පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු ළමයෙකු අයත් වෙයි.

මෙම පුද්ගලයන් කිලිනොච්චිය, යාපනය, වත්තල, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන තිබේ.