තර්ක කර කර ඉන්න එපා... ආපු බෙහෙත දෙසැරයක් හිතන්නේ නැතුව විදගන්න -වෛද්‍ය ජගත් කුමාර

තර්ක කර කර ඉන්න එපා... ආපු බෙහෙත දෙසැරයක් හිතන්නේ නැතුව විදගන්න -වෛද්‍ය ජගත් කුමාර

May 11, 2021   07:27 pm

කොවිඩ් වසංගතය පාලනය කර ගැනිමේ වැඩි වගකීමක් ජනතාව සතුව පවතින බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජගත් කුමාර මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මේ මොහොතේ පවතින භයානක තත්ත්වය හමුවේ සංචරණ සීමා පනවා ඇති බවත් ජනතාව විවිධ බොරු පවසමින් එය උල්ලංඝනය කිරීම තුළින් ජනතාවගේ නොහික්මුණු ස්වභාවය පෙන්නුම් කරන බවත් ය.

“සංචරණ සීමා ඇති කරන්න හේතුව තමයි මේ රටාවෙන් දිගට ගියොත් අපි ලොකු අගාධයකට වැටීමට නියමිතයි. මේක වළක්වා ගන්න පුළුවන්කම තියෙන්නේ රජයට, නිලධාරීන්ට වඩා වැඩියෙන් වගකීම තියෙන්නේ ජනතාවට. ඒ නිසා ජනතාව අංගවිකල හැසිරීම්වලින් ඉවත්වෙලා වගකිව යුතු මිනිස්සු හැටියට කටයුතු කරන්න ඕනේ.“

මේ අතර පවතින තත්ත්වය යටතේ ලබා දෙන ඕනෑම එන්නතක් එන්නත් කර ගැනිම වඩා යෝග්‍ය බව වෛද්‍ය ජගත් කුමාර මහතා පවසයි.

“ආපු බෙහෙත දෙසැරයක් හිතන්නේ නැතුව විදගන්න. හොඳ එකක් ඉදිරියේ දී එනකොට ඔබ කොරෝනා රෝගයෙන් මියගිහින් හිටියොත් ඒ බෙහෙත විඳගන්න වෙන්නේ ඔබට නෙමෙයි. ඒ නිසා ලබාදීලා තියෙන බෙහෙත හැකි ඉක්මනින් පැමිණිලා ලබාගන්න. තර්ක කර කර ඉන්න එපා. බෙහෙත සීමිතයි. එතකොට ලබා ගන්න බැරි වෙනවා.“

වැඩි අවදානමක් සහිත බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකදී එන්නත්කරණ වැඩසටහන අදත් (11) ක්‍රියාත්මක කෙරුණි.

ඊට ත්‍රිවිධ හමුදාවේ සහාය හිමිවිය.

එලෙස ලබාදෙනු ලැබුවේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතයි. 

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එන්නත් ලබාදීම සිදුවන අතරවාරයේ ඊට යුද හමුදාවේද සහාය හිමිවිය.

ඒ අනුව යුද හමුදාවේ සහයෙන් අද උදෑසන එන්නත්කරණය ඇරඹුණේ කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශයේ මාලිගාවත්ත, මට්ටක්කුලිය, වැල්ලවත්ත, ඛෙත්තාරාමය සහ නුගේගොඩ ආදී ස්ථාන 5 කදීය.

මීට අමතරව කොටිකාවත්ත ප්‍රදේශයේ ජනතාවට අද පෙරවරුවේ සිට ස්පුට්නික් V එන්නත ලබා දුන් අතර එය ලබාගැනීමට විශාල පිරිසක් එක්රැස්ව සිටි බව අප වාර්තාකරු පැවසීය.

නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 02ක පුද්ගලයින් 1,200කට අද එන්නත්කරණය සිදුකිරීමට සැලසුම්කර තිබුණ ද ඊට වැඩි පිරිසක් එහි පැමිණීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි.

මේ අතර කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ 2,000 ක පමණ පිරිසකට සයිනොෆාම් එන්නත ලබාදීම අද පෙරවරුවේ ආරම්භ විය.

එන්නත ලබාගැනීමට පැමිණි පිරිස් දිගු පෝලිම්වල රැඳි සිටියහ.

මේ අතර කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත පිළියන්දල නගරයේ ඇරැව්වල රත්මල්දෙණිය ප්‍රදේශයේ 1,600ට සයිනොෆාම් එන්නත ලබාදීම අද සිදුකෙරුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අද සයිනොෆාම් එන්නත ලබාදීම සිදුකෙරුණේ ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ හෙද නිලධාරීන්ගේ සහාය ඇතිවය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත ලබාදීම අද සිදු කෙරුණු අතර එය ලබා ගැනීම සඳහා පැමිණි පිරිස් දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි.

පානදුර ග්‍රාම නිලධාරී වසම් 04ක් සඳහා මහානාම විදුහලේදී අද එන්නත්කරණය සිදුකෙරුණු අතර එහිදී නොසන්සුන්තාවක් හටගත් බව අප වාර්තාකරු පැවසීය.