අරුණිට මව අහිමි වූයේ කාගේ වරදින් ද?

අරුණිට මව අහිමි වූයේ කාගේ වරදින් ද?

May 11, 2021   02:24 pm

“මේ අවුරුදු 26ට පුංචිවත් දුකක් නොදී හෙවණැල්ලක් වගේ මාව බලාගත්තේ, ඉල්ලපු හැමදේම මට දුන්නේ, හැම වෙලේම මගේ සතුට වෙනුවෙන් හැමදේම දරාගත්තේ, මේ විදියට පස්සෙන් ඇවිත් ඇවිත් මගේ ජිවිතේ ලස්සනට හැදුවේ මාව මේ විදියට තනියම දාලා යන්න ද අම්මේ? “

මේ තම මව මෙලොවින් සමුගැනීම දරාගැනීමට නොහැකිව හඬා වැලෙපෙන තවත් එක් දියණියක් ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක්.

දිනෙන් දින ඉහළ යන කොවිඩ් අවධානම මධ්‍යයේ තම සමීපතමයින් අප හැර යමින් සිටින මොහොතක අරුණිගේ සංවේදී කථාව ඔබට පැවසිය යුතු යැයි අපි සිතුවෙමු.

පුවත්පත් මාධ්‍යවේදිනියක් වන අරුණි කළුපහන සියලුදෙනාගේ දැන ගැනීම පිණිස ෆේස්බුක් සටහනක් තබන්නේ මැයි 7 වනදා ය.

කෙසේවෙතත් ඒ වෙනවිට කොවිඩ් ආසාදිතව ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, ඇයගේ මව ද කොවිඩ් ආසාදිතව වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

එම මව පිළිකා රෝගීව සුවවු තැනැත්තියකි.

කෙසේවෙතත් අද අප මේ සටහන තමන මොහොතේ අරුණිගේ මව මෙලොවින් සමුගෙන ගොසින්ය. 

- උපුටා ගැනීම -
සියල්ලන්ගේ දැන ගැනීම පිණිස ලියා තබමි

පසුගිය අප්‍රියෙල් 28 වන දින රාත්‍රියේ පටන් මා තද උණ රෝගයෙන් සහ අත් කකුල්වල දැඩි වේදනාවකින් පෙළුණෙමි. තත්ත්වය කෙසේවේදැයි නොදැන වුවත් එදිනම MOH කාර්‍යාලය සහ PHI මහතා දැනුවත් කළෙමි. එමෙන්ම PCR පරීක්ෂණයක් කර ගැනිමට මා ඔවුන්ගෙන් විමසු විට පරීක්ෂා කරන ලද වෛද්‍යවරයෙක්ගේ ලියුමක් අවශ්‍ය බව පැවසීය. 

එදිනම හවස් යාමයේ වෙන්නප්පුව ප්‍රදේශයේ මා නිරතුරුවම ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයා මුණගැසී ප්‍රතිකාර ගත් නමුත් වෛද්‍යවරයා මට ඇත්තේ වෛරස් උණක් බව පවසමින් රජයේ රෝහලකින් PCR පරීක්ෂණයකට යොමු කිරිමට අවශ්‍ය ලිපියක් ලබා දිය නොහැකි බවත් මා PCR පරීකක්ෂණයෙන් කොරෝනා අසාදිතයෙකු බව තහවුරු වුවහොත් වෛද්‍යවරයාට ද නිරෝධානය වීමට සිදුවන බවත් කියමින් ඔහු PCR පරික්ෂණයක් අවශ්‍ය නොවන බවත් පුන පුනා මට පැවසීය. එමෙන්ම ඔහුගේ උපදේශය වුයේ දවසට සෑම කෑම වේලකට පසුවම රතු ළූණු සහ අමු මිරිස් ආහාරයට ගන්නා ලෙසත් ය. ඒ වෛද්‍යවරයා ගැන මීට වඩා කිසිවක් දැනට නොකියමි..
මටත් වඩා අම්මා ගැන තිබුණු බය නිසාම මම මීගමුව නවලෝක රෝහලෙන් පෞද්ගලිකව PCR පරික්ෂණයක් මැයි මස 03 වෙනිදා සිදුකර ගතිමි. ඒ වන විටත් වෛරස් උණක් යැයි සිතා වෛද්‍යවරයා ලබාදුන් බෙහෙත් ලබාගත්තද තද උණ තත්වය එසේම පැවතිණි. 
ඒ වන විට කලක් තිස්සේ රෝගීව රෝහල්ගත කර සිටි අම්මා සිටියේ නැවතත් නිවසේය. අම්මා ගැන ඇති වු බිය නිසාම ඇයව රෝහල් ගත කිරීමට කිහිපවරක් උත්සහ කළ ද, කොතරම් අසනීපයෙන් සිටියත් අම්මා මා දමා යළි රෝහල්ගතවීම ප්‍රතික්ෂේප කළාය. තද උණෙන් පෙලෙමින් නිදා සිටි මා අවදිවෙද්දී  වතාවක් දෙකක් මගේ නළලට අත තබමින් මා ගැන වද වෙමින් මා විමසමින් ඇය සිටියාය. ඒ ඇයත් මාත් සමීපව සිටි මොහොතය. 
ඒ කාලයේම ඇයගේ රෝගී තත්වය යළි උත්සන්න වන්නටත් හුස්ම ගැනීමට අපහසු වන්නටත් විය. තව දුරටත් බලාසිටිය නොහැකිම තැන මැයි පස්වෙනිදා පාන්දර පවුලේ අය ඇයව රෝහල්ගත අතර එහිදි ඇන්ටිජන් පරික්ෂණයෙන් අම්මා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු විය. 
අනතුරු දහවල් වෙත්දි මා ද කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමගින් යළි මා PHI සහ MOH කාර්‍යාලය දැනුවත් කළෙමි. ඊට පසුවදා උදේ මා නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන බව ඔවුන් පැවසීය.  
ඊට පසුදා එනම් මැයි 06 වෙනිදා වෙත්දී මා හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළුණ අතර හවස් වෙද්දී තත්ත්වය අසීරු විය. ඒ වන විට සෙනග එකතු කරමින් සිටි PHI පැමිණ සිටියේ නැත. 
හවස හතර පමණ වන විට 1990 සුවසැරිය රථයක් පැමිණ මා කඩිනමින් රෝහල් ගත කළේය. රෝහලට ගෙනියන අතරතුරේද කිහිපවරක් හුස්ම ගැනීමට අසීරු වූ අතර හැකි ඉක්මනින් අවශ්‍ය උපදෙස් දෙමින් මා රැගෙන ආ ඔවුන්ගේ ඒ සුවිශේෂී සේවාව අගය කළ යුතුමය. 
කෙසේ හෝ මා දැන් ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර රෝහලේය. දුරකතනයට සිග්නල් නැති හෙයින් බොහොමයක් පණිවිඩ සහ ඇමතුම්වලට පිළිතුරු දීමට නොහැකි විණි. 

මා නිරතුරුව මිනිසුන් හෝ සමාජය හා ගැටුණු අයෙක් නොවෙමි. කාර්‍යාල මගී සේවයක් මගින් උදේ හවා ගමන් කරන මා අනෙකුත් හැකි සෑම අවස්ථාවකම පෞද්ගලික කාරයෙන් ගමන් කළෙමි. නමුත් ගෙවුණු කාලය තුළ මා මුණ ගැසුණු, මා හා කතා බස් කළ සියලු දෙනාටම කරුණාකර කොයිකටත් ඔබේ තත්වය පරික්ෂා කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. 
ඉතින්, ජිවිතය බොහෝ අපේක්ෂා නොකළ දේවල් වලින් පිරි ගොසිනි. මේ කාලය තුළ මා බොහෝ මිනිසුන් ගැන හදුනා ගතිමි. ජිවිතයේ පළමු වරට තනිව රෝහලක වෙසෙමි. නමුත් කිසිම විටෙක මා සිතින් තනි නොකළ මගේ පවුල, නෑදෑයන්, ආදරණිය පවුලක් වෙමින් මා වෙනුවෙන් වෙහෙස වූ කාර්‍යාල සගයන්, මිතුරන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්‍ය් මණ්ඩලය මෙන්ම මා සමගින් සිටි සියල්ලටම බොහොමත්ම ස්තූති කරමි. ඒ ආදරයට පෙරළා ආදරය කරමි, ඔබ මා වෙනුවෙන් අන්තීම මොහොත වනතුරු නොසෑහෙන්න වෙහෙස වූ අයුරු ස්තූතිපූර්වකම සිහිපත් කරමි. 
හෙට දවස කුමක් වුවත් ඔබ සැමටම හදවතින්ම ආදරය කරන බව පමණක් පවසමි. 
අරුණි කළුපහන
2021 මැයි 07

-උපුටා ගැනීම අවසන් -