රෝහල් ගත කිරීමට ප්‍රමාද වුවහොත් රෝගීන් නිවෙස් තුළ මිය යා හැකියි -කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි

රෝහල් ගත කිරීමට ප්‍රමාද වුවහොත් රෝගීන් නිවෙස් තුළ මිය යා හැකියි -කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි

May 3, 2021   07:20 pm

දෛනිකව සුවය ලබන ප්‍රමාණයට වඩා වාර්තා වන රෝගීන් ප්‍රමාණය සාපේක්ෂව විශාල වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල තදබදය සෞඛ්‍ය අංශවලට විශාල අභියෝගයක් වී තිබේ.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 112,000සේ සීමාවත් පසු කරද්දී අඛණ්ඩව සිව්වන දිනටත් දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) 1500 සීමාව පසු කළේය.

ඒ, ඊයේ හඳුනාගත් ආසාදිතයින් 1,891 දෙනාද සමගය.

පළමුවරට දෛනික ආසාදිතයින් 1,000 සීමාව පසු කළ පසුගිය අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව මේ දක්වා දින 05 ක කාලය තුළ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සැලකිය යුතු අගයකින් අඛණ්ඩව වර්ධනය වී තිබේ.

ඒ අනුව ඊයේ වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව සියයට 70.2ක වර්ධනයක් බව පෙන්නුම් කරන අතර එය ඉදිරි දින කිහිපය පිළිබඳව අනතුරු ඇඟවීමක් ද වේ.

කොවිඩ් ආසාදිතයෙකු වුවද මරණයට හේතුව වෙනත් රෝගයක් නම් එවැනි මරණ මින් ඉදිරියට කොවිඩ් මරණ ලැයිස්තුවට ඇතුලත් නොකරන බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානි සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ඊයේ උදෑසන පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 52කම ආවරණය වන පරිදි හුදකලා කිරීමට බලධාරීන් තීරණය කළ ද ඊයේ රාත්‍රීයේ එම තීරණය වෙනස් කර තිබුණි.

ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් මේ වන විට හුදකලා කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ තමන්ගේ ඉල්ලීම වුයේ මුළු පිළියන්දල ප්‍රදේශයම හුදකලා කිරීම බවය.

“මගේ දැනුවත් වීමකින් තොරව තමයි එම සීමාවන් අයින් කරේ. දැනටත් මගේ ඉල්ලීම විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීමෙන් පමණයි අපි බලාපොරොත්තු වන ඉලක්කය ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙන්නේ. අපිට පෙනෙන රෝගීන් සංඛ්‍යාව අනුව තමයි හුදකලා කිරීම් කරලා තියෙන්නේ. නමුත් වාර්තා නොවූ රෝගීන් නිදැල්ලේ සැරිසරමින් මේ වන විටත් ඉන්නවා. රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා රෝගීන් 100ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රැඳී සිටිනවා. සුවසැරිය ගිලන් රථයට මේ සියලු රෝගීන් ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නෑ. රෝගියෙක් සොයා ගත්තත් පැය ගණන් රෝගීන්ට බලා සිටීමට සිදුවෙනවා. ඒ නිසා රෝගීන් නිවෙස් තුළ මියයෑමේ හැකියාවක් පවතිනවා.“

මේ අතර, කොවිඩ් ආසාදිත පුද්ගලයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීම අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඔසුසල් හැර අනෙකුත් සියලු වෙළෙඳසල් අද සිට දින 04ක කාලයක් සඳහා වසා දැමීමට ව්‍යාපාරිකයින්ගේ එකඟත්වය ඇතිව ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කර තිබේ.

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණ මඟින් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව, කඩුවෙල හා අතුරුගිය අන්තර් හුවමාරුවල කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යමණ්ඩල තාවකාලිකව ඉවත් කර තිබේ.

මේ හේතුවෙන් එම අන්තර් හුවමාරු හරහා ඇතුළුවන හෝ පිටවන වාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන අතර දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පිටවන වෙනත් ස්ථානයකදී ගාස්තු ගෙවීමට හැකියාව ඇතැයි එහි මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා සඳහන් කළේය.