පූජිත් සහ හේමසිරි ට එරෙහිව චෝදනා 800ක්

පූජිත් සහ හේමසිරි ට එරෙහිව චෝදනා 800ක්

May 3, 2021   03:33 pm

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහිව 2019 පාස්කු ප්‍රහාරයට අදාළ ව මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මිනීමැරීමේ සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවලට අදාළව තොරතුරු ප්‍රදර්ශනය කිරීම කොළඹ මහාධිකරණයේ දී සිදුකරනු ලැබීය.

එසේ කර ඇත්තේ ඔවුන් දෙදෙනාට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ වෙන වෙනම නඩු විභාග දෙකක් සඳහා අගවිනිසුරු වෙත ඉල්ලීමක් කිරීමටය.

එම ඉල්ලීම ද අද (03) දින නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය....

"අද දින ගරු නීතිපතිතුමා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළව මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මිනීමැරීමේ සහ මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාවලට අදාළව තොරතුරු ප්‍රදර්ශනය කිරීම කොළඹ මහාධිකරණයේ දී සිදුකරනු ලැබුවා. එය එසේ සිදුකරනු ලැබුවේ ත්‍රිපුද්ගල විණිසුරු මඩුල්ලක් ඉදිරියේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග දෙකක් සඳහා ගරු අගවිනිසුරුතුමන් වෙත ඉල්ලීමක් කිරීම සඳහායි. එම ඉල්ලීමද අද දින ලිඛතව ගරු නීතිපතිතුමා විසින් ගරු අගවිනිසුරුතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබුවා. 2019 අප්‍රේල් 07 වන දින සහ 2019 අප්‍රේල් 21 යන කාලසීමාව අතරතුරදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට ලැබුණු සංවේදී තොරතුරු සහ බුද්ධි තොරතුරු, සහරාන් හෂිම් සහ ඔහුගේ කණ්ඩායම ආගමික සිද්ධස්ථාන, හෝටල් සහ අනෙකුත් ස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සංවිධානව සිටි බවට සහ ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව ආසන්නව සිටින බවට ඔවුන්ට ලැබූණු තොරතුරු නොසලකා හැරීම සහ එය මත කටයුතු කිරීමට මුළුමනින්ම අපොහොසත්වීම හේතුවෙන් 2019 අප්‍රේල් 21 වන දින ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීම හේතුවෙන් ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ සහ 300 වන වගන්තිය යටතේ මිනීමැරීමට සහ මිනීමැරීමට තැත්කිරීමේ වරදට වගකිවයුතු යන පදනම මත මරණ 275ක් සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකර මිනීමැරීට තැත්කිරීමේ වෝදනාවන් සම්බන්ධයෙන් ගරු නීනිපතිතුමා විසින් කොළඹ මහාධිකරණයේ අද දින තොරතුරු ප්‍රදර්ශනය කිරීම සිදුකරනු ලැබුවා. අදාළ බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය මත කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවලුන් ප්‍රභල නොසලකාහැරීම් සහ ප්‍රබල පැහැරහැරීම් හේතුකොටගෙන මෙම සිද්ධිවලට අදාළව වෝදනා ඉදිරිපත්කර තිබෙනවා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවලුන්ට චෝදනා ගොනුකර ඇත්තේ වර්ෂ 2019 අප්‍රේල් 07 වන දින සහ 2019 අප්‍රේල් 21 වන දින අතර කාලය තුළදී බෝම්බ පුපුරවා හරින බවට අනාවරණය වන තොරතුරු ඔවුන් සතුව තිබියදී එම තොරතුරුවල සඳහන් සාහසික ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය සුදුසු පියවර ගැනීම පැහැර හැරීමෙන් හෝ නොකරහැරීමෙන් අන්තරායන් කොපමන තදබලදයත් පුද්ගලයින්ගේ මරණය සිදුවිය හැකිබව හෝ ශාරීරික හානියක් එම පැහැරහැරීමෙන් සිදුවිය හැකිබව සාක්ෂි මත අනාවරණය වන බැවිනි. ඒ අනුව සහසික ක්‍රියාව වන බෝම්බ පුපුරුවා ජීවිත හානි සිදුකිරීම වළක්වාගැනීමට ක්‍රියා කිරීමට අපොහොසත්වීමෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවලුන් මරණයට පත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ඔවුන්ගේ අනීතික නොකර හැරීම් නිසා මිනීමැරීමේ වරදට වගකිවයුතු බවත් තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මිනීමැරීමට තැත්කිරීමේ වරදවල් යටතේ ගරු නීතිපතිතුමා විසින් චෝදනාවලට අදාළ තොරතුරු ප්‍රදර්ශනය කිරීම අද දින සිදුකළා".